අහස සේ නුඹ අනන්තයි....

Saturday, July 13, 2013

දෝණිගේ කතාව - (1කොටස)

 හුස්ම ගන්නවා.... හුස්ම පිට කරනවා... කනවා... බොනවා... නිදාගන්නවා.... මේකටද අපි ජිවිතේ කියන්නේ ? හිතන්න මොහොතක්.. නැහැ. මේක නෙමෙයි ජිවිතේ කියන්නේ. ජීවිතය පවත්වා ගැනීමක් විතරයි ඒ දේවල්.මේ ආනන්තරිය වූ සංසාර ගමනේ එක්තරා නවාතැනක් විතරයි මේ ජිවිතේ කියන්නේ,ජිවිතයක් ලැබීම සාමාන්‍ය දෙයක් උනත් තිරිසනෙක්, යක්ෂයෙක්, ප්‍රේතයෙක්, නොවී මනුෂ්‍ය උත්පත්තියක් ලබන්න පෙර පිනක් තියෙන්න ඕනෙමයි, ඉතින්... බලන්න අපි කොච්චර වාසනාවන්තද නේද? අතක් පයක් අහිමි නොවී, අංගවිකල නොවී, ඉපදෙන්න අපි ඊටත් වඩා වාසනාවන්තයි. නමුත් මනුෂ්‍ය උත්පත්තිය ලැබූ පමණින් අපි අංග සම්පුර්ණ වෙන්නේ නෑ. අපි හැමෝටම යම් දුර්වලකමක් තියෙනවා, මේක කියවන ඔබටත් යම් දුර්වලකමක් තියෙනවා, නැහැයි කිවුවොත් ඔබ බොරුකාරයෙක්, මේක ලියන මටත් දුර්වලකම් තියෙනවා, ඒවා මොනවද කියන එක මෙතනට අදාල නෑ. අපිට වැදගත් අපේ දක්ෂතාවයන්. ඒවා හදුනාගෙන ඔප මට්ටම් කරගත්තොත් අපිට මේ දුර්වලකම් මග හැරගන්න පුළුවන්.

මම එක්තරා කතාවක් කියන්නයි හදන්නේ. එක ගැහැණු  ළමයෙක් ගැන, දුර්වලකම් මැඩගෙන ජිවත් වෙන්න ඉගෙනගත්ත. අම්මයි,  තාත්තයි, අයියයි, ඉන්න පවුලේ බාලයා.මේ ළමයා ඉපදුනාම හදහන බලද්දී කිහිප දෙනෙක්ම කියල තිබුණා ළමයට මාරක අපල තියෙනවා, ජිවත් උනත් හුගාක් බලපෑම් වලට ලක් වෙනවා කියලා.මේ මොන දේ උනත් අම්මටයි තාත්තටයි තමන්ගේ දෝණිට තියෙන සෙනෙහසේ අඩුවක් උනේ නෑ. දෝණි වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා කියල එයාල අදිටන් කරගත්තා. මව්පිය සෙනෙහස තරම් බලවත් දෙයක් මේ ලෝකේ තවත් නෑ කියන්න තවත් එක් සාක්ෂියක් තමයි මේ සත්‍ය කතාව.

හදහනේ අනාවැකි සැබෑ කරමින් දෝණි අවුරුදු 5දී හිටි හැටියේම අසනීප වුනා.දෝණිගේ අම්මයි තාත්තයි වහාම දෝණිව රෝහල්ගත කළා. දවසෙන් දවස තත්වය දරුණු වුන මිසක් අඩුවක් තිබුනේ නැහැ. දෝණිගේ අම්මා හරි හැටි කෑමක් බීමක් නැතුව රෑ දාවල් නොබලා හෙවනැල්ල වගේ දෝණි ලගින් හිටියා. තාත්තත් කරන්න පුළුවන් හැමදේම කළා.රෝහලේ දැඩි සත්කාර ඒකකයට දෝණිව ඇතුල් කලාම අම්මයි තාත්තයි හද පත්ලෙන්ම හඩා වැටුණා. හැම පන්සලකටම, හැම  දෙවාලේකටම, පල්ලියකටම හිතින් බාර උණා.එයාලා එකම දෙයයි ඉල්ලුවේ, ඒ දෝණිගේ ජිවිතේ බේරලා දෙන්න කියලා. රෝහල්ගත වෙලා හිටපු මාස එකහමාර පුරාම දෝණි ජිවත් වුනේ බෙහෙත් වල පිහිටෙන්. වෛද්‍යවරු ඇයට පැය 6න් 6ට බෙහෙත් එන්නත් කළා.මොළයට විෂබීජයක් ගිහින් කියලයි වෛද්‍ය වාර්තා වලින් හෙළි වුනේ, මේ තරම් අඩු වයසක දරුවෙක්ට මේ රෝගී තත්වයයි, බෙහෙතුයි ඔරොත්තු දෙන්නේ නෑ කියලත්,  මෙහෙම වුණාම බේරෙන්නේ 10%ක් වගේ ටික දෙනෙක් කියලත්, බේරුනත් කිසියම් අතුරු අබාධයන්ට මුහුණ දෙන්න වෙනවා කියලත් වෛද්‍යවරු දෝණිගේ අම්මයි තාත්තයි දැනුවත් කරලා තිබුනා, ඉතින් එයාල තේරුම් ගත්ත දෝණීගේ ජිවිතේ අවිනිශ්චිතයි කියලා.

දෝණිගේ අයියා ඒ වෙනකොට 5වසරේ ඉගෙන ගත්තේ, ඒ වෙද්දී නංගිගේ තත්වේ තේරුම් ගන්න පුළුවන් කමක් නැති වුනත්, අයියට දැනුණා නංගිට ගොඩාක් අමාරුයි කියල.පිටතට නොපෙන්නුවත් අයියා හිතින් හඩා වැටුණා. දවසක් ඉස්කොලේදී යාලුවෙක් එක්ක "නංගිට සනීප නෑහැ, ඉස්පිරිතාලේ නවත්තලා" කියල හුගක් අඩලා තිබුණා. පන්තිභාර මිස් ඒක දැකලා එයාගේ හිත හැදුවා නංගිට ඉක්මනට සනීප වෙනවා, අඩන්න එපා කියල.,මේකට තමා සහෝදරත්වය කියන්නේ. සහෝදර බැදීම් හුගාක් ශක්තිමත්.අම්මගෙයි, තාත්තගෙයි, අයියගෙයි, දැඩි හිතින් කරපු ප්‍රාර්ථනාව නිසා හාස්කමක් වගේ දෝණි ටිකෙන් ටික සනීප වෙන ලකුණු පෙන්නුම් කළා. වෛද්‍යවරුන් පුදුම වුනා, දැන් අම්මගෙයි තාත්තගෙයි සතුට දොරේ ගලනවා. මේක ලියද්දි මගේ ඇස් වලත් කඳුළු පිරිලා. ඒ තරම් හැඟුම්බර, සංවේදී කතාවක් මේක. ටිකෙන් ටික සුව අතට හැරුන දෝණිගේ යම් වෙනසක් වෛද්‍යවරුන් දැක්කා, ඒ තමයි දෝණිට කන් ඇහෙන්නේ නෑ, කටහඩත් වෙනස් වෙලා කියලා. පරීක්ෂණ වලින් තහවුරු වුණා බෙහෙත් සැර දෝණිගේ උගුර, කන, නාසය සම්බන්ධ ස්නායු වලට බලපාල ස්නායු රෝගී වෙලා කියලා.වෛද්‍යවරු නම් කිවුවේ දෝණි හිටපු තත්වේ හැටියට මෙහෙම වෙලා හරි බේරුණ එක ලොකු දෙයක් කියලා. හැමදේම වෙන්නේ හොදට කියල අම්මයි තාත්තයි හිත හදාගත්තා. නමුත් හදවතින් හඬා වැටුනා, 

2 වැනි කොටසට......>>>>> දෝණිගේ කතාව - ( 2 කොටස ).

2 comments:

  1. ඔයා මාර හදිස්සියෙන්ද මේක type කලේ... මොනා උනත් එල...........

    ReplyDelete
    Replies
    1. මොකෝ මයිනෝ එහෙම අහුවේ ඈහ්???

      හදිසියෙන් නම් නෙමේ ලිව්වේ නිව් හෑනහිල්ලේ...

      ටෑන්කිව් කොහොම වෙතත් ^_^

      Delete