අහස සේ නුඹ අනන්තයි....

Tuesday, June 18, 2013

මම මගේ chat style එකට පට්ට විදියට වෛර කරමි.


කොතනින් පටන් ගන්නදැයි නොදනිමි. සිතේ හිරවී ඇති දේවල් වචන වලට හැරවීම මෙතරම් අසීරු දෙයක් බව මම නොදැන සිටියෙමි. කල් යාමේදී මට එය වැටහුණි. නමුත්... හැඟීම් වචන වලට හැරවූ පසු හිතට දැනෙන සහනය ද මෙතැකැයි කිව නොහැක. එය එක්තරා දුලබ ජයග්‍රහණයකි. මගේ ජයග්‍රහණයේ ප්‍රතිපලය මේ බ්ලොගයයි. එය විටෙක මට දින පොතකි, විටෙක දුක සතුට බෙදා ගන්න හොද මිතුරෙකි, තවත් විටෙක සමරු ඵලකයකි.

මම මහා කතුවරයෙකු නොවෙමි. කවියෙකුද නොවෙමි. පන්හිඳ හසුරුවන්නෙකු පමණක් වෙමි. වෙනසකට ඇත්තේ මම ලියන දේවල් පමණකි. නමුත්.... මම මගේ chat style එකට පට්ට විදියට වෛර කරමි. ලියන කලාවයි, චැට් කරන කලාවයි දෙකක් බව සැබෑය. මම අද ලියන්නේ මම වෛර කරන මගේ chat style එක ගැනයි.

 "ඇයි එහෙම වෛර කරන්නේ?" ඔබට එසේ සිතෙනු ඇත. හ්ම්ම්... මටද නැගෙන ප්‍රශ්නය එයමය. දිය හැකි ඍජු පිළිතුරක් මම සෙව්වෙමි. නමුත් හම්බුනේ දිගු ආවර්ජනයකි. එය හරිද වැරදිද තීරණය කිරීම ඔබේ අතේය.

 chat කියූ සැණින් බොහෝ දෙනාට මතක් වනුයේ facebook chat කිරිල්ලයි. තවද twitter chat, yahoo chat, Gmail chat, skype chat, SMS chat යනාදී chat ජාති ගොඩකි. ජාති කෙසේ වෙතත් chat, chat මය, මගේ අවාසනාවටද කොහෙද මම මිනිසුන්ව බොහෝ සෙයින් විශ්වාස කරමි. 'විශ්වාසය' මගේ ජිවිතයට බොහෝ කරදර රැසකට මුල පුරා ඇති කිවොත් ඔබ පුදුම වනු ඇත. එය සැබෑවකි. ඕනෙවට වැඩ කිසිවෙකු විශ්වාස කිරීම ප්‍රශ්න රැසකට අත වැනීමකි. 

 මම තරම් නිහඬ බව අත්විදින තවත් කෙනෙක් ඇත්දැයි සිතේ. මම කතා කරනවට වඩා නිහඬව කරන chat වලට ඇලුම් කලෙමි. මම සිතුවේ මා මෙන්ම අනෙක් අයත් අවංක, යහපත් ඇතියි කියාය. මට වැරදුනේ අන්න එතනදිය. අද මේක ලියන්න මග පෑදුනේද ඒ වැරදුනු තැනින්ය.


මම facebook ජාලයට එක වුයේ මිට වසර 3කට පෙරදීය. එදා බුකිය ගැන මෙලෝ හසරක් නොදැන සිටියෙමි. හොයා හොයම හැමදේම ටික ටික අවබෝධ කරගත්තෙමි. අද බුකියේ හැම අස්සක් මුල්ලක් ගැනම දනිමි. පේජස් දෙකක් ඇඩ්මින් කරමි. අන් අයටද settings වල ගැටළු විසදාගැනීමට උදව් කරමි. ඒ මා ලද දියුණුවේ තරමය. අද මම use කරන්නේ දෙවැනි FB ගිණුමයි, පළමුවැන්න මට එපාම විය. ඒ කෙළවරක් නැතුව friend reqest පිළිගැනීමේ ප්‍රතිපලයයි. 1,500ක් දිග friend ලිස්ට් එකක් ඇතත්, දන්නා හදුනන අය අතේ ඇඟිලි තරමටත් වඩා අඩු ගණනක් විය. එය delet කර දෙවැනි ගිණුම ඇරඹුවෙමි. දැන් friend ලිස්ට් එකේ 150ක් වත් නැත. නමුත් සැහීමකට පත් වීමට කරුණු රැසක් ඇත. ඒ ටික දෙන වුවද මා හොදින් හදුනාගත් අය වීමයි. 


 මම online දාන්නේ කලාතුරකිනි. ඒ හැමෝම කියන විදියට ලොකු සීන් දැමීමට නොවේ. මගේ chat style එකට වෛර කරන නිසාවෙනි. ඉතාම සමීප යහළුවන්ට කියා මට සිටින්නේ බස්සා, ජිම්, බොක්ක, ඉබ්බි, චානි, චමී, PS පමණකි. (මේ මගේ යාලුවන්ගේ අන්වර්ථ නාමයන් විනා සත්තු නොවේ. :P) ඉදලා හිටලා හෝ ඔවුන්ගෙන් massage එකක් වරදින්නේ නැත. ඔවුන් සමග හැර අන් අය සමග chat කිරීමට මම පැකිලෙමි, ඒ ද එකී හෙතුවමය.

අනේ ඔය හලීම friendly... 
ඔයා නම් චෝයි... 
ඔයා මාර හොදයි හලෝ... 
ආස හිතෙනවා ඔයත් එක්ක චැට් කරද්දී...
 you are so sweety... 

මේවා මුලදී නම් මට මිහිරි වදන් වුවද දැන් නම් මට අරහන් ය. සැබෑම කරුණ නම් කිසිවෙකු මා සමග chat කළහොත් දිගටම chat කිරීමට සිතීමය. මා ද කිසිවෙකු අමනාප කරගැනීමට අකමැති නිසාවෙන් චැට් කරමි. නමුත්... මෙසේ දිගට ඇදෙන chat එකෙන් බොහෝ දෙනා තම ජිවිත කතාවම මා හමුවේ හෙළිදරව් කරයි. කෙනෙක් boot sad එකෙනි. තව කෙනෙක් 'මට තාම කෙල්ලෙක් නෑනේ අෆ්ෆා. බැයිද හොයලා දෙන්න' කියයි. තවත් කෙනෙක් 'ඔයා හරිම ලස්සනයි. profile pic එක මාර කියුට්. bf කෙනෙක් ඉන්නවද අහයි.' බොහොම අතලොස්සක් දෙනා තමයි සැබෑ මිතුදමින් සැප දුක අහලා, විහිලු තහළුවෙන් ජොලියෙන් ඉන්නේ.

 මට ලැබුණු ආදර යෝජනා, විවාහ යෝජනා ගැනද නොකියාම බැරිය.එසේ යෝජනා ගෙනා සමහරු ලංකාවෙත් නැත. තවත් සමහරුන්ට chat කරපු දවස් දෙක තුනට මට ආදරේ හිතිලා ය. මුලදී මෙය මට මහත් අපහසුතාවයක් වුවද පසුව ටිකෙන් ටික හුරු විය. ඒ නිසාම නැවත එවැනි තත්වයන් ඇතිවීමට ඉඩකඩ අහුරා දැමුවෙමි. ඒ කිසිවෙකු සමග chat කිරීමෙන් වැළකීමයි. එය මාගේ ප්‍රතිපත්තියයි. FB පමණක් නොව අන් සියල්ලේද එක හා සමානය. සමහරවිට ඔයාලත් මේ අත්දැකීම් විදලා ඇති. 

 "මිනිස් කුසින් බිහිව, මිනිසුන් අතරම හැදී වැඩි, මිනිසාගේ කරින්ම අවසන් ගමන යන,තේරුම් ගන්න බැරි මෙලොව සිටින එකම සතා ද මිනිසා වේ."

 ඉතින් ඔන්න ඕකයි මම මගේ  chat style එකට පට්ට විදියට වෛර කරන්න හේතුව.

 ප / ලි : මම මේ කතාවට දාන්න ගැලපෙන මාතෘකාවක් හොයා හොයා ඉද්දි තමයි දැක්කේ කුරුළු අයියගේ සංකල්පනාවක්  තිබ්බා, "ෆේස් බුක් ස්මයිලිස් වලට පට්ට විදිහට වෛර කරමි" කියලා. ඉතින් ආයේ දෙපාරක් හිතුවේ නෑ. එඩිට් පාරක් දාල ගත්තා ඒකම මමත්. කුරුලු අයියේ සමාවෙවා. 

හැඟීම් වලට වහල් නොවී, තමන්ගේ දුර්වලකම් මගහරවාගන්න කිසියම් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වැරදි නැහැ. ඒ ගැන දෙපාරක් හිතන්න එපා. ජිවිතේ විදින්න ලස්සනට. විදවන්න එපා.

Tuesday, June 11, 2013

මාතු පාදං නමාමි... පීතු පාදං නමාමි....


ගෙවෙන හැම තත්පරයක්, තත්පරයක් ගානෙම අපි ජීවිතේදී කිසියම් දෙයක් ඉගෙන ගන්නවා, අත්දැකීම් ලබනවා, උපන් දා පටන් මැරෙන තෙක්ම එහෙමයි. අම්මයි, තාත්තයි තමයි අපේ ජිවිතේ පළමුවෙනි ගුරුවරු දෙපළ. ඉස්සරෝම කියලා 'අ' යන්න 'ආ' යන්න කියන, ලියන හැටි විතරක් නෙමෙයි ලැජ්ජා  බිය ඇතුව විළි වහගන්න, ඇදුමක බොත්තමක් දාගන්න, පිගානේ බත් ටික හලාගන්නේ නැතුව අතින් අනාගෙන කන්න, අර පුසා... අර බව්වා... අර හප්පා... කියලා සත්තු අදුරගන්න, මේ හැමදේම කියල දුන්නේ අපේ රත්තරං අම්මයි තාත්තයි.

පුංචි කමට කියලා අපි දඟ වැඩ කරද්දී කෝටු පාරවල් අනන්තවත් කාල තියෙනවා නේද අපි හැමෝම. එහෙම ගුටි කාල, හොටු පෙරාගෙන අඬපු හැටි මතකද... මතක් වෙද්දීත් හිනා යනවා.ඊට පස්සේ ගුටි කාපු හැටි මතක නිසා ඒ දඟ වැඩේ අයෙත් කරන එකත් ඉබේම නවතිනවා. හැබැයි තවත් අලුත් දඟ වැඩක් පටන් ගන්නවා. ඒවටත් ඉතිං හොඳ නරක අනුව ප්‍රතිපල හම්බෙනවා, ඔන්න ඔය වගේ සුන්දර විදියට තමයි අපේ ළමා කාලේ ගෙවුනේ. 



අපේ ඒ ළමා කාලේ සුන්දරවත් වුනේ අම්මයි තාත්තයි හින්දා. අම්මගෙයි තාත්තගෙයි ආදරය, රැකවරණය, තුල හැදී වැඩුනා. අපේ ඒ ළමා ලෝකේ සුන්දර කරන්න අම්ම රෑ දාවල් නිදි මරුවා. තාත්තා දාඩිය මහන්සිය නොබලා හම්බ කළා. ඒත් එයාල කවදාවත් අපිව වදයක් කියලා හිතුවේ නෑ. දිවි පරදුවට තියලා අපිව රැක ගන්න පුළුවන් උපරිමයෙන් කැප වුනා, පෙර පාසැල් යවලා, පාසැල් යවලා, දහම් පාසැලෙන් ගුණදම් උගන්නවලා අපිව හැම අතින්ම පෝෂණය කළා.

අද අපි යම් ජයග්‍රහණයක් ලබා ඇත්ද, යම් තැනක සිටීද, ඒ හැමදේකම පිටුපස සෙවනැල්ල වගේ ඉන්නේ අපේ අම්මයි තාත්තයි. කවුරු හරි කිව්වොත් "ලෝකේ ඉන්න හොදම අම්මයි තාත්තයි, මගේ අම්මයි තාත්තයි" කියලා. ඔයා ඒක පිළිගන්නවද? නැහැ. මම නම් පිළිගන්නේ නෑ. මට නම් ලෝකේ හොදම අම්මයි තාත්තයි, මගේ අම්මයි තාත්තයි තමයි, ඔයාලටත් එහෙමයි නේද, කවුරු අපිව අතෑරියත් අම්මයි තාත්තයි අපිව අතාරින්නෙ නෑ. අපේ සතුට තමයි එයාලගේ මුළු ලෝකෙම. 




මං දෙයක් කියන්නම් හදවතින්ම. කොච්චර උසස් තැනක හිටියත් 'මේ මගේ අම්මා'  'මේ මගේ තාත්තා' කියලා එයාලව හදුන්වලා දෙන්න පැකිලෙන්නෙපා කවදාවත්. නෙලුම් මල් දහසක් පුජා කරලා ලබන පිනට, ආශිර්වාදයට වඩා අම්මගෙයි, තාත්තගෙයි දෙපා වැඳලා එයාලගෙන් ලබන ආශීර්වාදය,පින දස දහස් ගුණයක් බලවත්. ගෙදරින් පිටවෙලා කොහේ හරි යද්දී උනත් අම්මටයි, තාත්තටයි දණ ගහලා වැඳලා යන්න පුරුදු වෙන්න. ඉගෙනගෙන, ලොකුවට නැතත් පුළුවන් හැටියට රස්සාවක් කරලා හම්බ කරලා, ඒ සල්ලි වලින් ඇදුමක් අරන් දීලා, එක වේලක් හරි උයලා බත් කටක් කවලා එයාලගේ හිත් සතුටු කරන්න.ඒ මොහොත සඳාකල් එයාලගේ මතකයේ රැඳී තියේවි. ඔව්. ඇත්තමයි.

කවි කිය කියා පොඩි කාලේ නැලෙවුවලූ
සුරතල් සිනා දැක දැක නුබ සැනසුනලූ
පපුවේ හොවා මට උනුහුම දුන්නාලූ
මතකයෙ නැත්තෙ මං ළදරුව හින්දාලූ

කන්නට රඡ බොඡුන් මසවුලු නැතුවාට
ඉන්නට මහා සත් මාලිග නැතුවාට
උකුලේ තියන් නුබ හිස අත ගානවිට
දැනුනා තාත්තේ සුර සැප මගෙ හිතට

දහඩිය කදුලු මද සුලගට මුසු වෙන්නේ
ඒ සුලගෙන් බිදක් නැත නුබ මට දුන්නේ
හිස සිබ මගේ දුක් ගිනි හැම නුබ ගන්නේ
කොහොමද තාත්තේ ඔය හැටි උහුලන්නේ...

____________________________________________________
 
අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුරලොව සිට අතපා ඒ කඳුළැලි පිසිනා

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක් දන්නා අම්මවරුමයි
සංසාරේ මතු බුදු වන්නේ

සෙනෙහස ඇති දා සිතද බොළඳ වී
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනි වූ දා

අම්මා පමණයි ළඟ ඉන්නේ


Saturday, June 1, 2013

"වැස්ස"... නුඹ හරි හැඩයි නොවැ .....




මං ආසයි තනිකමට....
එහි ගිලී තියෙන නිහැඬියාවට,  

අඳුරු බවට මං හුගාක් ආසයි.
අහස අඳුරු කරපු වැහිබර හැන්දෑවක
තනිකම තුරුල් කරන්
ජනේලයෙන් එළියේ බලාගෙන ඉද්දි   

එකින් එක වැහි බිඳු වැටෙන හැටි,   

විදුලි කොටන හැටි, හයියෙන් සුළං හමද්දී
ගස්වැල් පැද්දෙන හැටි
බලන් ඉන්න ආසයි මං....

ඒක හරියට භාවනාවක් වගේ.
හිත නිවෙනවා.                                                      

වහලේ දිගේ එන වැහි බිඳු
චුටි දිය ඇල්ලක් වගේ බිමට වැටිලා 

මිදුලේ දිය පාරවල් හදාගෙන
ගලාගෙන යන හැටි දකිද්දී,
කඩදාසි බෝට්ටු හදලා
පා කරන්න හිතෙනවා
පොඩිත්තෙක් වගේ.



ගෙයි දොරකඩ පඩියේ ඉදන්
වහලේ දිගේ බේරිලා බිමට වැටෙන
දිය බිඳු වලට ඇත දිගු කරන්
හිරිකඩින් තෙමෙද්දී...,
හමාගෙන එන සීත සුළං රැල්ලකින්
ඇඟ හිරිගඩු පිපෙනකොට....
ජිවිතේ කොයිතරම් ප්‍රශ්න කන්දරාවක් තිබ්බත්
මොහොතකට හැමදේම අමතක වෙනවා..
හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්....