අහස සේ නුඹ අනන්තයි....

Saturday, November 8, 2014

මම මවාගනිමි ඔබෙ සිනා සපිරි රුව.... හදේ කොනක රඟ දෙන්න ඔහේ....


සුදුවෝ...... මගේ වස්තු කැටේ...
හොඳින් ඉන්නෝද ඔයා...
ඉස්සර හිටපු හිතුවක්කාර කොල්ලමද තාමත්
නැත්තම් ඩින්ගිත්තක් වත් වෙනස් වෙලාද ආහ්....
කෝම උන්නත් ඉතින් තාමත්
මගේ පණ ටිකනේ ඔයා...
කේන්ති ගිහින් කෑ ගහල මූණ රතු කරගත්තට
කතා නොකර ආඩම්බරෙන් හිටියට
නපුරුම විදියට හැසිරුනාට
ඔය අහිංසක හිත මං අඳුරන්නේ නැත්තේ නෑ රන්...
ඔයා වත් නොදන්න තරමට මම ඔයාව අඳුරනවා හොඳට
නැහැයි කියන්නේ කෝමද ආහ්....
ඉස්සර වගේ ළඟින් නොහිටියත්
මගේ හැම සිතුවිල්ලකම ඔයා ඉද්දී
මට තනියක් දැනෙන්නෙත් නෑ...
ඒ තරමට හරි අපූරු සුවයක් ඔයා...
ආදරණීයම ආදරේක උරුමයක් ලබන්න
මමත් පින් කරලා තියෙන හැඩයි...
මම තවදුරටත් මට අයිති නෑ කියලා
මතක් කරලා දුන්නෙත් ඔයාමයි...
ඉතින් කෝමද සුදුවෝ ඔයාගෙම නොවී ඉන්නේ මං..... <3

Sunday, October 26, 2014

එකම අහසක් යට සිටියත්.... දෙතැනක හිඳ සුසුම් හෙළන අපි..... මායාවක්දෝ මේ ආදරේ...


ෆොටෝ එකකින් දහසක් දේවල් කියාපාන්න පුලුවන්... එක්තරා කලාත්මක සන්නිවේදනයක් ඡායාරූපකරණය කියන්නේ... අපි ජීවිතේදී ඕන තරම් ෆොටෝස් දැකල ඇති... සමහරක් ඒවා හිතටම වැදිලත් ඇති... දුක, සතුට, සන්වේදී බව, කලකිරීම, පුදුමය, කෝපය, හාස්‍ය  මේ හැගීම් අනන්තවත් පහළ වෙලා ඇති... ඒවා තමන්ගේ ජීවිතේ එක්ක සංසන්දනය කරලා හිතලා ඇති... හා නැද්ද මම අහන්නේ... ? :D

 මම මෙතෙක් දැකපු මගේ හැම සිතුවිල්ලක්ම මුසු වුණු ෆොටෝවක් තමා මේ... ඇත්තටම මේක ඉස්සරෝම කියලා දැක්කේ එයාගේ ෆේස් බුක් කවර් ෆොටෝ එක විදියට දාලා තියෙද්දී... මට මතකයි මම සෑහෙන්න වෙලාවක් මේ ෆොටෝව දිහා බලාගෙන හිටියා... පුදුමෙනුත් පුදුම හිතුනා... එයාට හිතෙන දේමයි මටත් හිතෙන්නේ කියලා තේරුනා... ඒක මහ අමුතුම ෆීලින් එකක්... නෝ වර්ඩ්ස්.. 

මට හිතට දැනුන දේවල් ඒ විදියටම ටයිප් උනේ නෑ... :( අසාර්ථක උත්සහයක්...  නිකන් විකාර පෝස්ටුවක් වගේ මේක... කියවන කස්ටිය පව් ඉතින්.... :p

Saturday, October 18, 2014

සිහින ලොවක් දුටුවා මතකයි... සිහින ලොවින් ආවා මතකයි...




මගේ ජීවිතේට මහ ගොඩක් කියලා හීන තිබ්බේ නෑ බබා... 
ලොකු ලොකු ආසාවල් තිබ්බෙත් නෑ... 
නිදහසේ සැහැල්ලුවෙන් හිටියේ මම... 
ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ... 
ඔයා මගේ ජීවිතේ ලස්සන, අහිංසක හීනයක් උනා... 
ඒ හීනෙත් එක්ක මම ජීවත් උනා... 
හැම මොහොතකම, හැම තත්පරයකම ඔයා මගේ හිතේ උන්නා... 
ඒත්... 
මගෙමයි කියලා තිබ්බ ඒ අහිංසක හීනෙ බිඳලා දාන්න තරම් ඔයා නපුරු උනේ ඇයි රන්... 
දුක හිතුනේ නැද්ද චුට්ටක් වත් මං ගැන... 
කියන්න මට... 
උන දේවල් මට තාම හීනයක් වගේ... 
අදටත් මම ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න බයයි ඒ හැමදේම හීනයක් වෙලාම යයි කියලා... :(

සිහින ලොවක් දුටුවා මතකයි...
සිහින ලොවින් ආවා මතකයි...


Wednesday, October 8, 2014

කෙසෙල් කොලේ බත් පතේ සුවඳට.... සිහිවෙනවා නුඹව තාත්තේ...


ඉස්සරෝම දවස් වල... පුංචි උනත් අම්මත් එක්ක හරි හරියට උයන්න ආසයි මං... ( දැන් නම් පට්ට කම්මැලියෙක් :p ) ඒ වගේම කෙසෙල් කොලේ ඔතපු බත් කන්න හරි ආසයි... සෙනසුරාදා ඉරිදා දවස් වලට (ඉස්කෝලේ යන නිසා ගෙදර ඉන්නේ සති අන්තේ විතරනේ) අම්මයි මමයි එකතු වෙලා උයනවා... මමයි මේනු එක තෝරන්නේ... මට තනියම උයන්න පුළුවන් උනාට අම්මා මාව කුස්සියේ තනියම තියන්නේ නෑ... වෙන මොකක් නිසාවත් නෙමේ... අත පය පුච්චගනී කියලා බයට තමා... හෙහෙ... 

ඔන්න ඉතින් මම තෝරාගන්නේ හරිම සරල මේනු එකක්... හාල්මැස්සෝ බැදුමක් හදලා, පරිප්පු වේලෙන්න උයලා, පොළොස් මාළුවක් උයලා, ගොටුකොල සම්බෝලයක් තමයි මගේ තේරීම... එක එක දවස් වලට වෙනස් වෙනවා ඉතින්... උයලා ඉවර වෙලා උණු උණුවේ කෙසෙල් කොළේක බත් මුලක් ඔතලා තියලා නාල රෙදි සෝදලා එහෙම ඇවිත් දවල්ට ඒ බත් එක කනවා... හම්මේ පළාතම සුවඳයි බත් එක දිග අරිද්දි... මතක් වෙද්දී මේ දැනුත් කටට කෙළ උනනවා... :p ඇත්තම කිව්වොත් කෙසෙල් කොලේ ඔතලා තිබ්බම කෑම එකේ රස දෙගුණ වෙනවා... කාලා තියෙන අයම දන්නවා ඇතිනේ ඒක.

හැබැයි අපේ ගෙදර මම විතරයි එහෙම කන්නේ... අම්මයි තාත්තයි හිනා වෙනවා මේ කෙල්ලට පිස්සු කියලා.. පිස්සු උනාට මොකෝ එහෙම කද්දී තියෙන රස දන්නේ මමනේ.. ගෙදර අයට පෙන්න පෙන්න කෑවා මං හෙන ආඩම්බරෙකින්... :v මං දන්නවා මට හිනා උනාට කස්ටියටත් ආසයි කියලා... කොහෙද ලොකු සින් දදා ඉන්නවනේ... ඔහොම ටික දවසක් යද්දී තාත්තටත් මගේ ලෙඩේම බෝ උනා... දවසක් මම බත් මුල බදිද්දී තාත්තා ඇවිත් කිව්වා මටත් කෙසෙල් කොළේ බත් කන්න ඕනේ කියලා... ඉස්සරම මට විතරක් බෙදපු බත් මුල දැන් බත් මුල් දෙකක් උනා... තාත්තත් මන් වගේම නාල එහෙම ඇවිත් රස කර කර කද්දී මට ඇස් වලටත් කඳුළු ඉනුවා ලාවට වගේ.. තාත්තා වගේමනේ දුවත්... දුව වගේමනේ තාත්තත්.... 

දැන් නම් මගේ ඒ පුරුද්ද එහෙම් පිටින්ම නැති වෙලා ගිහින්... තාත්තා නැති උනාම මගේ ජිවිතේ සෑහෙන්න වෙනස් උනා කිව්වොත් හරි... ඒ හැම මතකයකම දැන් මාව අඬවනවා... අහම්බෙන් හරි කෙසෙල් කොලේ බත් එකක් දැක්කත් තාත්තව මතක් වෙනවමයි... ජිවිතේ අපි හැමෝටම මතක සටහන් ගොඩාරියක් තියෙනවා... ඒ හැම මතක සටහනක් පිටුපසම සැඟවුණු කතාවකුත් තියෙනවා කියන්නේ ඇත්තනේ...


මේ කතාව කියවපු එකේ නිවාඩු වෙලාවක පොඩි අත්හදා බැලීමක් කරලා බලන්නකෝ ඉතින්... ඔයාලට රස කර කර කෙසෙල් කොලේක බත් කටක් කන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මමත්... :p 

Friday, September 19, 2014

පුoචි බිම් මලක් වෙමි මම..... තනිව හිනැහෙන....



තෙතබරිතව දිරාගිය මියයන්නට අර අදින 
දිරාපත් දැවැන්ත වෘක්ෂයක් පාමුල පිපිණු 
සුවඳක් නැති ලස්සනක් නැති හුදෙකලා 
පුoචි බිම් මලක් වෙමි මම තනිව හිනැහෙන..... 


සිව්දිග අරණේ හරිත පැහැයෙන් බැබළෙන  
අතු පතර විදහාගත් සද්ධන්ත රුක් පෙළ 
කළුවරයි හාත්පසම සීතලයි දසතම 
ඉඳහිට වැටෙන හිරු කිරණක් හැරුණු කොට.... 


සීතලෙන් පින්නෙන් පෙගුණු ගත සිත ඉඳහිට 
නැවුම් හිරු කිරණක පහසින් නැහැවෙන විට 
වසාගෙන දෙනෙත් විදහාගෙන දෑත් හුස්මක් ගෙන දිගු 
විඳිමි මා ලද චමත්කාරජනක දිවියේ අසිරිය.... 


නිසොල්මන්ව හිදින විට සුපුරුදු හුදෙකලාවේ 
පෙනෙන නොපෙනෙන දුරින් යයි කුහුඹුවන් රැළක් 
කඩිසරව දුවයි එඩිතර සිතින් පුoචි වුවද ගතින් 
මටත් සිතේ යන්නට ඇත්නම් ඔවුන් පසුපස්සේ..... 


මෙයයි මගේ ජීවිතය මෙයයි මගේ ලෝකයම 
සොබාදහම් මාතාවගේ තුරුලේ හිදින 
දහවල ගෙවී රැය උදා වී දවස ගෙවී යයි 
මම තවම පුoචි බිම්මලක් තනිව හිනැහෙන....

Wednesday, September 10, 2014

භාවනාවට බාධා කරන අමනුෂ්‍යයෝ....


හොල්මන්, අවතාර, භූතයෝ, ප්‍රේතයෝ කියන්නෙ එක්තරා ජීවීන් කොටසක්. වෙනසකට තියෙන්නෙ අපේ ශරීර ගොඩක් භෞතිකයි. ඒ ජීවීන්ගේ අංශුමය පදාර්ථ වලින් සෑදුන විනිවිද යා හැකි ශරීරයක් තියෙන්නෙ. අනිත් එක තමයි ඔවුන්ගෙ ආවර්ථය මිනිස්සුන්ට වඩා හුගක් වැඩී ඒ නිසා අපිට ඔවුන්ව පේන්නෙ නෑ. හැම තැනම ඒ ජීවීන් ඉන්නවා. උදාහරනයක් විදියට ඉතා වේගයෙන් කැරකෙන විදුලිපංකාවක් ගැන හිතන්න. ඒ පෙති වල වේගයට අපිට පෙති නොපෙනී පෙති තුලින් එහා පැත්ත පැහැදිලිව පේනවා. හරියට පෙති නෑ වගේ. මේ ජීවීනුත් එහෙමයි ආවර්ථය වැඩි නිසා අපිට පේන්නෙ නෑ. ඒත් ඒ ජීවීන්ව පේන සත්තු ඉන්නවා. හිත හොදට දියුණු කරගත්ත අයටත් පේනවා. ඒ ජීවීන්ගේ උවමනවටත් මිනිසුන්ට පේන්න සිටිය හැකියි. අපි නොදන්න දේ මේ ලෝකේ ගොඩයි. මට අත්දැකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන්... ඉතින් මට හිතුනා ඒ ගැන යමක් ලියන්න ඕනේ කියලා ඔයාලට දැනගන්නත් එක්ක..

මීට අවුරුද්දකට කලින් මම භාවනා ආරණ්‍යකට වෙලා මාස 3ක් විතර හිටියා භාවනානුයෝගියෙක් විදියට... බාහිර සමාජයෙන් ඈත් උන නිස්කලංක වනගත ආරණ්‍යක... අධ්‍යාත්මික වශයෙන් හිත දියුණු කරගත්තු මෙහෙණින් වහන්සේ නමක් තමයි ආරණ්‍ය භාරව ඉන්නේ... අපිට කමටහන් දුන්නේ උන්වහන්සේ... මම ටික ටික භාවනාවේ ඉහලට යනකොට.. ඒ කියන්නේ හිත දියුණු වෙනකොට, හිත දමනය වෙනකොට නොයෙක් ප්‍රශ්න එන්න පටන් ගත්තා... භාවනා කරද්දී නහයට අමුතුම ගඳක් එන්න පටන් ගත්තා... ඒක හරියට මනුස්සයෙක්ගේ පුස්ඹක් වගේ... දරාගන්න බැරි තරම්... හරියට මන් ළඟම කවුරු හරි ඉන්නවා වගේ.. කියන්න තේරෙන්නේ නෑ... මම අනිත් අයගෙන් ඇහුවා එයාලට දැනුනද කියලා ගඳක්... එයාලට නැහැලු.. ඒ කියන්නේ මට විතරමයි... 

මුලදී මේක මන් ගනන් ගත්තේ නෑ... සුපුරුදු විදියටම භාවනාව කරගෙන ගියා... වැඩේ කියන්නේ හවස් වේගෙන එද්දී මට හැමදාම ඒ ගඳ දැනෙන්න ගන්නවා... මෙහෙණින් වහන්සේ ඒ දවස් වල විදේශගත වෙලා හිටියේ... උපදෙස් ගන්න විදියක් තිබුනේ නෑ ඉතින්... දැන් තත්වය එන්න එන්නම දරුණු වෙනවා... ඔලුවේ කැක්කුමත් ආවා එකපාරටම... මට තේරුනා මෙතන මොකක් හරි බලපෑමක් තියෙනවා කියලා... ආරණ්‍යයේ භික්ෂුණින් වහන්සේ නමක් මාව බෝධිය ලඟට එක්ක ගිහින් බුදුන් වැඳලා පින් බලාපොරොත්තුවෙන් ඉන්න ඔය ඇත්තෝ මේ පින් අනුමෝදන් වෙලා මේ දරුවගෙන් අයින් වෙන්න කියලා පින් අනුමෝදන් කළා... පහුවෙනිදා ඔලුව උස්සගන්න බෑ උණයි ඔලුවේ කැක්කුමයි හොඳටෝම... මෙහෙණින් වහන්සේට කෝල් කරලා විස්තරේ කිව්වම පිරිත් කියන්න කිව්වා මගේ වටේ ඉඳන්.. පිරිත් කියලා ඉවර උනා විතරයි අමාරු ඔක්කොම අතුරුදහන්... ඇත්තටම මේ වගේ පුදුමාකාර සිද්ධීන් වලට මුහුණ දෙන්න උනා මට.... 

ආරණ්‍යයේ බෝධිය ළඟ මම
භාවනා කරන ආසනය...

දවස් 4,5කට පස්සේ මෙහෙණින් වහන්සේ ලංකාවට ආවම කිව්වා භාවනානුයෝගීන්ට ඔහොම බලපෑම් එනවා අමනුෂ්‍ය ආත්ම වලින්... කරණිය මෙතන සුත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කලේ ඒ නිසා තමයි කිව්වා.. ආරණ්‍යයේ අනෙකුත් භාවනානුයෝගීන්ට දානයක් දීලා අපි පින් අනුමෝදන් කරලා බලමු කිව්වා... දැන් අම්මයි මමයි දානේ දුන්නා... ඊට පස්සේ ටික දවසක් යනකන් වෙනසක් නැතුව ගෙවුනා... ආයෙත් ප්‍රශ්න ආවා... භාවනා කරන්න බැරි වෙන තැනට කරදර ආවා... ඒ හින්දම මට එපා උනත් එක්ක... මේ වෙන දේවල් ගැන අහලා අම්මත් බය වෙලා හිටියේ හොඳටම... කැම්පස් එකේ එක්සෑම් ලං උන නිසා ආයේ ගෙදර යන්න කාලේ ආවා.. භාවනා නොකර ඉද්දි අවුලක් නෑ... භාවනා කරගෙන යද්දී,, හිත දියුණු වෙද්දී අමනුෂ්‍යයෝ කරදර කරන්න පටන් ගන්නවා... ඒක හින්දා තමා කියන්නේ ගුරුවරයෙක්ගේ මග පෙන්වීමක් නැතුව භාවනාව ගැඹුරින් කරන්න එපා කියලා... ඒ වගේම මෙවැනි අවස්ථා වලදී බය නොවී බුදු ගුණ කෙරෙහි සම්පුර්ණ විශ්වාසයෙන් ඉන්න එකත් ගොඩක් වැදගත්.. 

ගෙදර ආවට පස්සේ මේ කිසි දෙයක් නැහැ... සුපුරුදු විදියට ගෙවිලා ගියා... කාලයත් එක්ක දිනපතා භාවනා කරන පුරුද්ද අඩු වේගෙන ගියා... දැන් ඉඳලා හිටලා හිතුනම භාවනා කරනවා ඉතින්... කොහොම උනත් ජීවිතේට ලැබුන ලොකුම අත්දැකීමක් මේක නම්... 

බුදු ගුණ අනන්තයි...!!!

Monday, September 8, 2014

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට... පසු වදනක් කුමටද තව නුඹගෙන්....



මට ඔයාව ගොඩක් මතක් වෙනවා බබා...........
හැම මොහොතෙම මට ඔයාව මතක් වෙනවා............
මං තාමත් ඔයාට ආදරෙයි..........
මාව දාල යන්න තරම් ඔයාට මාව එපා උනේ ඇයි මගෙ මැණික.......???

මෙච්චර කාලෙකට පස්සෙද ඔයාට මේ වචන ටික කියන්න මතක් උනේ..  අන්තිම මොහොත වෙනකන් ඉවසලා බැරිම තැන මම හැමදේම අමතක කරලා දාන්න හිත හදාගත්තට පස්සෙද මේ වචන ටික කියන්න ඕන උනේ..  ම්ම්ම්ම්.... හේතු දාහක් කිය කිය ඔයා මාව ඈත් කරද්දී චූටි චූටි හේතු හොයාගෙන බැනුම් අහගෙන හරි මම ඔයත් එක්ක හිටියා මෙච්චර කල්... ඉවසීම රතු කට්ට පනිනකන්... දැන් හැමදේම ඉවරයි... හැමදේම...  මන් දවසක් ඔයාට කිව්වා... හැමදාම සමාව දීලම කවදා හරි දවසක මට ඔයාට සමාව දෙන්න බැරි දවසකුත් එයි කියලා... අද තමයි ඒ දවස... ඔයත් පව්... මමත් පව්...  ඉන්න තැනක සතුටින් ඉන්න ඔයා... එච්චරයි මට ඕනේ... 

Monday, August 18, 2014

තනිකම හුරු දෙනත පුරා... උණු කඳුලැලි රුරා ගියා....


ඔයාට උදව් ඕන හැම වෙලාවකම...
තනිවෙලා ඉන්න හැම වෙලාවකම...
වැටිලා ඉන්න හැම වෙලාවකම...
එදා වගේම වෙනසක් නැතුව 
අදටත් මම හිටියා... හැමදාමත් ඉඳියි...

ඒත්...

මම තනි වෙලා අසරණ වෙලා ඉද්දි 
මගේම කියල කවුරුවත් ළඟ නෑ...
තට්ට තනියම හිඟන්නියෙක් වගේ 
කඳුළු හංග හංග අඬනවා...
මොකද කිව්වොත් මට 
අඬන්න වත් නිදහසක් නෑ.....

හිතට ටිකක් හරි සැනසීමක් ගන්න කියල
ඔයාගේ නම්බර් එක ඩයල් කලාම
වචන දෙකයි රිප්ලයි ආවේ....
"මම බිසී" කියල.....
හ්ම්ම්ම්...... 
මං වෙනුවෙන් තත්පරයක් වත් නෑ 
ඔයා ළඟ...

මාව තනි නොකරන එකම කෙනා 
තනිකමයි කඳුළයි විතරද කොහෙද...
කමක් නෑ ඉතින්...
හිත රිද්දෝන බැඳීම් වලට වඩා 
පුරුදු තනිකමයි කඳුළයි මට සැපයි
හැමදාමත්...

සඳත් ගිනිගෙන දැවෙන මොහොතේ.... හිරුගෙ සිසිලස කෙලෙස අයදිම්දෝ...


ෆෝන් එක අතට ගන්න හැම වෙලාවේම... 
තනියම පාළුවේ ඉන්න හැම වෙලාවකම.... 
මට හිතෙන්නෙම ඔයාට කතා කරන්න කියලා... 
ඒත්... 
මම මාවම නවත්තගන්නවා...
මන් මටත් වඩා ඔයා ගැන හිතන හින්දද මන්දා 
ඔයාගේ සමහර වැඩ නිසා මට රිදෙනවා හුගාක්....
එහෙම කියලා ඔයාට නීති දාන්නත් බෑ මට...
ඈතින් ඉඳන් ඔයා දිහා බලාගෙන 
දවසක ඔයා හැදෙයි කියන එකම පැතුමෙන් 
තාමත් මම මග බලාගෙන ඉන්නවා රන්...
උත්සහ කලොත් බැරි නෑ නේද මගේ මැට්ටෝ... 

Thursday, July 31, 2014

වළ පල්ලට ගිය ලංකාවේ විශේෂ අධ්‍යාපනය...



ලංකාවේ බහුතරයක් පාසල් වල විශේෂ අධ්‍යාපන ඉගැනුම් කොච්චර පහල මට්ටමකද තියෙන්නේ කියලා හිතුනා ඊයේ..  මටත් වඩා අවුරුද්දක් වැඩිමල් අක්කා කෙනෙක් ඉන්නවා අපේ ග්‍රැෆික් ක්ලාස් එකේ... එයාට කතා කරන්න බෑ කන් ඇහෙන්නෙත් නෑ උපතින්ම... එයාගේ අක්කටත් එහෙමලු.. ඊයේ අපිට ඇප්ලිකේෂන් එකක් පුරවන්න දුන්නා සර්... පව් දෙයියනේ මේ අක්කට ලියන්න බෑ තනියෙන්...  ලියලා තියෙන දේ කියවලා තේරුම් ගන්නත් බෑ.. මම කොලේක ලියලා දුන්නම ඒක බලාගෙන ඇප්ලිකේෂන් එක පිරෙව්වේ...  

ස්කුල් එකේ එයා විශේෂ අධ්‍යාපන ඒකකයේ ඉගෙනගෙන තියෙන්නේ... ස්කුල් එකේදී වැඩි හරියක්ම කරන්නේ පන්තියට වෙලා ඔහේ ඉන්න එකලු... ඉගැන්නුවේ නෑලු... ලියන්න තියා අඩු තරමේ සයින් ලැන්වේජ් එක වත් උගන්නලා නෑ...  මන් දැක්ක විදියට එයා හුගක් දක්ෂයි... ග්‍රැෆික් එහෙම සර් කියල දුන්නම ටක් ගාල අල්ලගනවා වැඩ... අනිත් ළමයින්ට මම සති ගානක් කියල දුන්නත් අද කරපු දේ හෙට අමතකයි... ඒ අක්කා මෙච්චර දක්ෂයි නම් හොඳ අධ්‍යාපනයක් ලැබුනා නම් ඉහළටම යන්න තිබ්බා...  ආසාව තිබ්බත් එයාට අවස්ථාව ලැබිලා නෑ... අදටත් එයා දුක් වෙනවා ඒ ගැන... 





ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත අය සමාජෙන් කොන් වෙනවා වැඩියි... ඒත් පිටරටවල් වල එහෙම නෑ... ඇමරිකාවේ ශ්‍රවනාබධිත කථානාබාධිත අයටම කියලා වෙනම කැම්පස් පවා තියෙනවා... ලංකාවේ නම් රත්මලානේ ස්කුල් එක තමා දැනට හොඳම තත්වයේ තියෙන්නේ මම දන්න විදියට ... එත් ඈත පළාත් වල දුෂ්කර ප්‍රදේශ වල දුප්පත් අයට රත්මලානේ ස්කුල් එකට යන්න බැරි ප්‍රශ්න නිසා ගොඩක් ළමයින්ට ඉගෙනගන්න තියෙන අවස්ථාව මගහැරෙනවා... මේ ප්‍රශ්නේ ගැන රජය මිට වඩා වගකීමෙන් හිතන්න ඕනේ... හැම ස්කුල් එකකටම සන්නිවේදන පියසක් දෙන මහින්දයට ඇයි හැම ස්කුල් එකම විශේෂ අධ්‍යාපන ඒකකය ක්‍රියාකාරී මට්ටමින් පවත්වාගෙන යන්න වැඩපිළිවෙලක් සකස් කරන්න බැරි... 



ඇමරිකාවේ අඳ බිහිරි පාසලක්...


ඇමරිකාවේ අඳ බිහිරි විශ්ව විද්‍යාලයක්.....

Sunday, June 1, 2014

හිමිවුනු ඔබ මට අහිමි වෙලා... කොහොමද වාවා ගන්නේ මා...


මතක් වෙන්නේ නැද්ද මාව චුට්ටක් වත්...

මතක් උනත් නෑ වගේ ඉන්නවා ඇති නේද...

හුම්ම්ම්...

මාත් එහෙමයි දැන්... 

මතක් වෙන හැම පාරම නොදන්නවා වගේ ඉන්නවා...

තනිකරම මම මාත් එක්ක කරගන්න රඟපෑමක්....

දවසක මටම ඇතිවෙයි... 

ඒත් රන්...

ඔයා මවල දුන්න ලෝකේ 
තාමත් මම ජිවත් වෙනවා...
 
අදටත් මේ ඇස් වලට කඳුළු උනන්නේ...
 
ඒ ලස්සන හීනෙන් මිදෙන්න ලෝබ කමට...

අහිමි බව දැන දැනත්...

පණ වගේ ඒ හීනෙට ආදරේ ඇයි කියලා 
අදටත් මම දන්නැහැ...

Thursday, May 15, 2014

අප්පච්චියේ.....




චුට්ටිම චුට්ටි කාලේ ඉඳන් 
ඔය උණුහුමේ තුරුල් වෙලා 
නැළවිලි ගී අහමින් 
නැළවුණු දෝණි මමයි තාමත්
අප්පච්චියේ...

දිනෙන් දින ලොකු මහත් උවත් 
එදා මෙන්ම අදටත්
ඒ දයාබරිත උණුහුමම සොයනා 
ඔබේ පුංචි කුමාරිකාව මමයි 
අප්පච්චියේ....

මහා රෑ නොනිදා අවදිව 
ඔබේ සෙනෙහේ උල්පත සිහිකර 
නිහඬව ඉකිබිඳ වැළපෙන 
සීමා මායිම් නැති පිය සෙනෙහසක 
උරුමක්කාරි මමයි 
අප්පච්චියේ....

සුබ උපන් දිනයක් වේවා කියන්නට
නිදුක් නිරෝගී දිඝායුෂ පතන්නට
දෙපා වැඳ නමදින්නට 
අද ඔයා නැහැනේ මන් ළඟ
දුරක ගියේ ඇයි මගේ 
අප්පච්චියේ..... 


ඔබට නිවන් සුව මගේ රත්තරන් අප්පච්චී...!!!
මතු උපදින හැම භවයකදිම 
ඔයාගෙම දෝණි වෙලා ඉපදෙන්න 
පාරමිතා පුරනවා මන් හැමදාමත්...
ආදරෙයි ගොඩාරියක්....  

Wednesday, May 7, 2014

මට අහිමි මම......



තේරෙන් නෑ කොතනින් පටන් ගන්නද කොතනින් ඉවර කරන්නද කියලා.... හිතේ තියාගෙන ඉන්නවට වඩා මෙහෙම ලියලා දාලා හිත නිදහස් කරගන්න හිතුනා...

ඉස්සෙල්ලම මේක කියන්න ඕනේ.... මට කාගෙවත් අනුකම්පාව ගන්න ඕන නිසා නෙමෙයි මෙහෙම ලියන්නේ...

තවත් එක ස්ටෝරියක් කියලා හිතාගන්නකෝ.... ඒ මදැයි... හ්ම්ම්ම්ම්....

අවුරුදු ගානකට කලින් මාත් සතුටින් නිදහසේ හිටපු සාමාන්‍ය කෙල්ලෙක්.... අම්මීගෙයි අප්පච්චිගේයි අයියගෙයි හුරතලී විදියට හරිම ලස්සනට ජීවත් උනේ....

ඒත් එක්තරා සිදුවීමක් මගේ ජීවිතේම වෙනස් කළා... අදටත් මන් ඒක මතක් කරන්නත් අකමැතියි... ඒත් තිත්ත උනත් ඇත්ත ඒකයි...

ස්කූල් යන කාලේදී (ඒ කියන්නේ පොඩි කාලේ) මන් හිටිහැටියේම අසනීප වෙලා තියෙනවා.... මාස එකහමාරක් හොස්පිටල් එකේ බෙහෙත් වල පිහිටෙන් ජීවත් උනේ...

ඒ මාස එකහමාරෙන් සති ගානක්ම අයි සී යූ එකේ හිටියේ... කෙටියෙන් කිව්වොත් මරණය අත ළග තිබ්බේ...

ලෙඩේ තමා මෙනින්ජිටිස්.... (මොළයට විෂබීජයක් ගිහින්) ඒක හුඟාක් දරුණු ලෙඩක්... ගොඩාක් අය මැරෙනවා මේ ලෙඩේ හැදුනම... බොහෝම ටික දෙනෙක් ජීවත් උනත්, ට්‍රීට්මන්ට්ස් නිසා අතුරු අබාධ ගොඩයි...

කොහොම හරි මට ජීවත් වෙන්න වාසනාවක් තිබුණා... ඩොක්ටර්ස්ලා එදා හිතුවේ මේක නම් හාස්කමක් කියලා... ඒ තරමට මගේ ජිවිතේ අවිනිශ්විත තත්වෙක තිබ්බේ...

පැය හයෙන් හයට බෙහෙත් එන්නත් කළා මට... බෙහෙත් සැරට නින්ද යනවා හොදටෝම...(නින්ද යනවා කිව්වට ඇත්තටම වෙන්නේ සිහි නැති වෙන එක) ඇස් අරින්නේම නැති තරම්... සේලයින් වලින් තමා හැමදේම...

ඒත් මට සම්පූර්ණයෙන්ම සනීප උනේ නෑ... අතුරු අබාධ වලට මටත් මූණ දෙන්න උනා... මට එච්චර මතකයක් නැතත් අම්මා කියන දේවල් එක්ක බැලුවම හම්මෝ එදා මන් හිටපු හැටි මටම පුදුමයි...

බෙහෙත් වල සැර ස්නායු වලට බලපාල මට ඇවිදගන්න වත් බැරුව හිටියේ... කතා කරාට සද්දේ පිට වෙන්නේ නෑ.... ඇහෙන්නේ නෑ... ඒ වෙලාවේ නම් මට හිතුනේ එකම දෙයයි... අපරාදේ මන් බේරුනේ කියලා... මෙහෙම ඉන්නවට වඩා මැරෙන එක සැපයිනේ...

ඊටත් වඩා මට වෙලා තියෙන දේ නිසා අම්මි, අප්පච්චී, අයියා කඳුළු බිබී හිටියේ... පස්සේ එයාලා වෙනුවෙන් වත් ජීවත් වෙන්න හිතාගත්තා දුක පැත්තකට දාලා...



කාලයත් එක්ක මට ඇවිදින්න පුලුවන් උනා... කතා කරන්නත් පුලුවන් උනා... ඒත් වොයිස් එක ටිකක් අවුල්... ඇහෙන එක නම් වෙනසක් නෑ ... ඒ කියන්නේ මම අදටත් ශ්‍රවණාබාධිතයි...

මාස හයකට පස්සේ ආයෙත් ස්කූල් ගියා මම... ඇහෙන්නේ නැතුව ජීවිතේ විඳින එක මට ලොකුම අභියෝගයක් උනා...

කාලයත් එක්ක ටික ටික හුරු උනා... සාමාන්‍ය විදියටම සාමාන්‍ය ළමයි එක්කම ඉගෙනග
ත්තා මන්... හැබැයි මානසිකව නම් අනන්තවත්ව වැටිලා තියෙනවා... මතක් වෙද්දි ඇස් වලට කඳුළුත් එනවා...

මට මතකයි ස්කූල් එකේදී මම පන්තියේ වැඩිම ලකුණු ගත්තා ගොඩක් විෂයන් වලට... ගොඩක් වෙලාවට මම පන්තියේ පළවෙනියා, දෙවැනියා නැත්තම් තුන්වැනියා...

අන්න ඒ නිසාම සමහරු මාත් එක්ක හෙන තරහයි... එයාල හිතන්න ඇති කන් ඇහෙන්නෙත් නැති කෙල්ල පැන්න උඩක් කියලා... මූණටම කිසි දෙයක් නොකිව්වත් මාව මානසිකව හුඟාක් වට්ටලා තියෙනවා යාලුවෝ...


දහය වසරෙදී මට වෙච්ච අමතකම නොවෙන දෙයක් තියෙනවා... සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයයට මුලු බැච් එකේම මගේ පොතේ විතරයි නෝස්ට් සම්පූර්ණ කරලා තිබ්බේ...

මම නෝට්ස් ලියාගන්නෙත් ඉතින් වෙන අයගේ පොත් බලාගෙන තමා... මොකද මට ඇහෙන්නේ නෑනේ... ඉතින් සර් මගේ පොතෙන් තමා ගොඩාක් වෙලාවට අනිත් පන්ති වලට නෝට්ස් දෙන්නේ... ඊටත් වඩා නෝට්ස් සම්පූර්ණ නැති ළමයින්ට සර් බනිනවා මගේ පොත පෙන්නලා මන් ගැන කිය කිය...

දවසක් බලද්දී මගේ පොත අතුරුදහන්... හෙව්වා හෙව්වා හම්බුණේම නෑ... ස්කූල් ගෙනාවා කියලා හොඳට මතකයි... ඒත් බෑග් එකේ පොත නෑ... මට මාරම දුකයි දැන්.. කාට කියන්නද ඉතින්...

කොහොම හරි දවස් හතර පහකට පස්සේ පොඩි පන්තියක මල්ලී කෙනෙක් අපෙ ක්ලාස් එකට ඇවිත් මගේ නම කියලා මාව අහලා... මාත් ගිහින් බැලුවා... දෙයියනේ ඒ මල්ලිගේ අතේ මගේ පොත තියෙනවා... මාව හොල්මන් උනා...

මල්ලී පොත මගේ අතට දීලා කිව්වා අක්කේ මේ පොත අපේ පන්තිය ගාව කුණු ගොඩේ තිබ්බා කියලා... ඒ වෙද්දිත් පොත වැස්සට තෙමිලා අකුරු බොඳ වෙලා තිබ්බේ... මට ඉකි ගැහෙනවා දැන්...

අමාරුවෙන් වචන ටිකක් එකතු කරලා මල්ලිට ගොඩාක් පින් කියලා මන් ආයෙත් පන්තියට ආවා... එදා මන් ඇඬුවා හොඳටෝම... මට හොඳට තේරුණා මේක මාත් එක්ක තරහට කවුරු හරි හිතලම කරපු දෙයක් කියලා... මොනා කරන්නද... අඬලම හිත හදාගත්තා...

එදා සර් මගේ ඔලුව අතගාල එක දෙයක් කිව්වා... දුවේ පොතට මොනවත් උනාට ඔයාගේ හිතට මොනාත් උනේ නෑනේ... වෙච්ච දේ ගැන හිතලා දුක් නොවී ඒ කාලේ ප්‍රයෝජනේට අරන් පාඩම් කරන්න... මන් නෝට්ස් හොයලා දෙන්නම් කියලා... අදටත් මන් ඒ සර්ට පින් දෙනවා අර වෙලාවෙදී මට නැගිටින්න දිරිය දුන්නට...


ඇහෙන්නේ නැතුව කෙල්ලෙක් හැටියට සමාජෙත් එක්ක ජීවත් වෙන එක හරිම අමාරුයි... කවුරු කොහොම හිතුවත් මමයි දන්නේ ඒකේ අමාරු තරම...

මගේ හෙවනැල්ල වගේ අම්මයි අප්පච්චියි අයියයි මාත් එක්ක හිටියා... කොයිම වෙලාවක වත් එයාල මාව තනි කළේ නෑ...

අප්පච්චී නම් ඈත අහසේ තරුවක් උනා සඳහටම... අයියත් රට ගියා... අම්මී මන් වෙනුවෙන්ම කියලා ආර්මි එකෙනුත් අයින් වෙලා මාත් එක්ක හිටියා මගේ හැමදේකටම...

ඒ ලෙවල්ස් කාලේ තමා මගේ ස්කූල් ලයිෆ් එකේ හොඳම කාලේ... අලුත් ස්කූල් එකේදි හැමෝම නැතත් ගොඩක් දෙනා මාව ආදරයෙන් පිළිගත්තා...

දෙවැනි අවුරුද්දේදී පන්තියේ හැමෝම මාත් එක්ක ෆිට්... ඕන දේකට සපෝර්ට්... හර්ෂනී, අමාලි, යසුරි, ටිනාෂි මේ හතරදෙනා තමා මගේ සමීපතම යාලුවෝ, අදටත් එයාලා මාත් එක්ක ඉන්නවා...

ඉතින් දැන් ස්කූල් ලයිෆ් එකට බායි කියලා ඉවරනේ... කොච්චර අමාරුකම් මැද්දේ උනත් අම්මී මට ඉහළටම ඉගෙනගන්න කියලා අවවාද කළා...

මට අහිමි උනේ ඇහෙන එක විතරනේ... ඒත් මට ඊට වඩා හැකියාවන් ගොඩක් තිබ්බා... අන්න ඒවායින් ප්‍රයෝජන ගන්න අම්මී කියලා දුන්නා...

දැන් මම ජ'පුර කැම්පස් එකේ දෙවැනි වසරේ අවසන් විභාගේ ලියන්න ඉන්නේ... ආපස්සට හැරිලා බලද්දී අද මම ඉන්න තැන ගැන මට මාරම සතුටුයි... අම්මී තමයි මට ජීවත් වෙන හැටි කියලා දුන්නු දෙවියෝ...

මම කොච්චර ඉහළට ඉගෙන ගත්තත් මට ඇහෙන්නේ නැති එක නිතරෝම අඩුවක් වගේ දැනෙනවා අනන්තවත්... ඉවසන එක ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ ඉතින්...

සුදුසුකම් අනූව මට ජොබ් කිහිපයක් සෙට් උනා... ඒ හැම එකක්ම හොඳම තත්වයේ ඒවා... ඒත් මට ඒ හැමදෙයක්ම අතාරින්න උනා... මොකද ඒ තනතුරු වල වගකීම දරන්න අමාරුයි මගේ තත්වේ නිසා...

අන්න ඒ වගේ වෙලාවට මන් හිතින් වැටෙනවා මාර විදියට... අඬන්න හිතුනත් මන් අම්මීට පේන්න අඬන්නේ නෑ.... එතකොට අම්මිත් අඬනවනේ... ඒක මට දරාගන්න අමාරු දෙයක්... ඉතින් ඉබේම හිත හැදෙනවා...


වෙලාවකට මේ හැමදේම අතෑරලා දාලා ආබාධිතයෙක් වගේ ජීවත් වෙන හැටි ඉගෙන ගන්න හිතෙන වාර අනන්තයි... මොකද අම්මී මට සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න කියලා දුන්නේ... දවසක සනීප උනාම සාමාන්‍ය විදියටම ඉන්න පුලුවන්නේ කියලා..

ඒ බලාපොරොත්තුව තමා අදටත් මාව ජීවත් කරන්නේ... මම දන්නේ නෑ මන් සනීප වෙයිද කියලා.. ඩොක්ටර්ස්ලා කියන්නේ ඒක කවදා කොයි වෙලාවේ වෙයිද කියන්න බෑ... සනීප වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියලා... සනීප උනත් නැතත් මම එපැයි ජීවිතේ ගෙවලා ඉවර කරන්න...

දවසක් කෙනෙක් මගෙන් ඇහුවා ඔයාට ඇහෙන්නේ නැත්තම් මොකටද ෆෝන් එකක් කියලා... මට හිනා ගියා ඒ වෙලාවේ... ටික වෙලාවකින් ඇස් වලට කඳුළු පිරුනා...

ෆෝන් එකක් තියෙන්නේ කෝල්ස් ගන්න විතරමද... වෙන ඔප්ෂන් කොච්චර තියෙනවද... මැසේජ්ස් යවන්න ඇහෙන්න වත්, කතා කරන්න වත් ඕනේ නෑනේ...

මිනිස්සු වෙලාවකට හරිම පුදුමයි... තව කෙනෙක්ගේ හිත රිදෙනවා කියලා නොහිතා කටට ආපු පළියට කියෝනවා...

ඔන්න ඕකයි මගේ කතාව........!!!





මන් දැකලා තියෙනවා ගොඩාක් අය ඉන්නවා පොඩි ඔලුවේ කැක්කුමක් හැදුනත් ඊට වඩා දුකක් නෑ වගේ හැසිරෙන... ඉතින් මන් අහන්නේ මට වෙච්ච දේවල් වලින් ටිකක් වත් ඔයාලට වෙලා තියෙනවද.. නෑනේ...

සතුටු වෙන්න තමන් ගැන... තමන්ට ලැබිලා තියෙන දේ ගැන හිතන්න... අහිමි වීම් ජීවිතේ සුලභයි... ඒ අහිමි උන දේවල් මත්තේම දුක් වෙවී ඉන්න ගියොත් අපිට අනාගතයකුත් නැති වෙනවා...

හම්මේ අතත් රිදෙනවා දැන් නම්... කියවන්නේ ඔයාල උනාට මම එපැයි ටයිප් කරන... මේ ඇති හයියූ... ටටා...

Thursday, April 10, 2014

නුඹ සුළගක්....නොපෙනෙන මුත්... මට දැනෙන....


බිඳු බිඳු වැටෙනා මහ වැහි පොද                       අතරින් 
ඔබේ රුව දුටුවේ අමතක නොවෙනා                ලෙසින් 
දෙහදක් ආදරෙන් බැඳුනු එදවස යළි                 ඇවිදින් 
කෙසේ නම් සුසුම් නොහෙළා ඉන්නද මම           ඉතින්
 
හිරු සඳු තරුට නිල් අහසට ආදරේ සම             කරමින් 
කවට වදනින් ඔච්චම් කරලා මුණත් රතු           කරමින් 
ඉඳහිට පොඩ්ඩක් තරහින් රවලා හොරැහින්         හිනැහී 
දින සති ගෙවුනේ නොදනිම අපි අපේ              වෙමින්

සුළඟ වගේ ඇවිදින් හිතට දැනුණු                     ආදරේ 
නුඹ නොදුටු මා නොදුටු අහිංසක ඒ                   ආදරේ 
අරුතක් නොමැති මුත් අද අපේ                        ආදරේ 
මට දැනෙනවා මට හැඟෙනවා තවමත් ඒ           ආදරේ 

Tuesday, February 11, 2014

ගලන ගඟකි ජිවිතේ....



ගොඩක් අය තමන්ට අහිමියි කියන දේවල් වල තමන්ගේ සතුට තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ... එහෙම හිතලා හිතල හිතේ හිතේ තියෙන සැනසිල්ලත් නැති කරගන්නවා... තිත්ත උනත් ඇත්ත මේකයි... ජිවිතේ අපි කවුරුවත් සර්ව සම්පුර්ණ නැහැ... 

*ඔයා සල්ලි නෑ කිය කිය දුක් වෙද්දී... සල්ලිකාරයෝ කීයෙන් කි දෙනෙක් දුක් වේවි ඉන්නවා ඇතිද සල්ලි වලට ගන්න බැරි සතුට සැනසීම ගැන හිත හිත....

*ඔයාට ලස්සන ඇඳුම් පැළඳුම් නෑ කියා කියා දුක් වෙද්දී... විළි වහගන්න රෙදි කෑල්ලක් වත් නැතුව අවුවට වේලි වේලි සීතලේ ගැහි ගැහි නිරුවතින් ඉන්න ළමයි කොච්චර ඉන්නවද...

*ආදරේ කරපු කොල්ල කෙල්ල දාල ගියා කියලා ඔයා දුක් වේවි ඉද්දි... ආදරේ කියන හැඟීම කවදාවත් අත්විඳලා නැති මන්ද බුද්ධික, ආබාධිත අය කොච්චර ඉන්නවද... 

*ජිවිතේ එපා වෙලා කියල ඔයා කන් කෙඳිරි ගගා ඉද්දි... කැන්සර් හැදිලා, වකුගඩු අමාරු හැදිලා, හදවතේ සිදුරු හැදිලා ජිවත් වෙන්න පණ අදින කීයෙන් කි දෙනෙක් ඉන්නවද... 

*බස් එකේ යද්දී හයියෙන් සින්දු දාල තියෙද්දී ඔයා හිතින් කොච්චර බැන බැන ඉන්නවා ඇතිද මිට වඩා හොඳයි බීරි උනා නම් කියලා... එත්... තමන්ගේ නම වත් අහන්න පිනක් නැතුව නිහඬ ලෝකේ ජිවත් වෙන කීයෙන් කී දෙනෙක් ඉන්නවද මේ ලෝකේ...


*දකින්න අකමැති දෙයක් දැක්කම මේ දෑස මක්කටෙයි කියාගන්නවත් ඇති ඔයා... පාට කියන්නේ මොනාද කියල වත් නාදුනන... සුදු සැරයටියේ පිහිටෙන් ජිවත් වෙන කි දෙනෙක් ඉන්නවද නේද...





දැන් හිතන්න ඔයාද එයාලද වාසනාවන්ත.. කියලා... ඔයා නේද... 
එත්... අවාසනාවන්ත උනත් එයාල අභියෝග ජයගෙන අනාගතේ හදාගන්නවා...

ජිවිතේ ඉස්සරහටම යනවා... 
අහල තියෙනවද කොහෙවත් අබාධිතයෙක් සියදිවි හානි කරගත්තා කියලා... අහල ඇති.. එත් හරිම කලාතුරකින් නේද... ඊට හරියන්න අද දවස ගානේ අතපය හොඳින් තියෙන කිසි දෙකින් අඩුවක් නැති අයම ජීවිතෙන් මුණ දෙන්න බැරුව කොච්චි වලට පැනලා, බෙල්ලේ වැල දාගෙන, මුහුදට පැනලා දිවි නහගන්නවා... තනියම නෙමේ.. හය හතර නොතේරෙන කිරි සප්පයන් එක්ක පවා... සැක් .... කොච්චර ලැජ්ජවෙන්න ඕනේ දෙයක්ද... 





ජිවිතේ කියන්නේ ගඟක් වගේ...
ගලාගෙන යද්දී ගල්පර වල හැප්පෙනවා..
මහා වැස්සට ගඟ උතුරා පිටාර ගලනවා...
තවත් කාලෙකට නියගයට අහු වෙලා වතුර හිඳෙනවා...
අපේ ජීවිතෙත් එහෙමනේ.. කාලෙකට සරුයි... කාලෙකට අන්ත අසරණ වෙනවා... ඒත්... ජීවිතෙන් පැනලා යන එකම නෙමේ විසඳුම... ඒවාට මුහුණ දෙන එකයි එකම විසඳුම...
අටලෝ දහම ගැන හිතන්න...
සොබාදහම හැඩගැහෙන්න උත්සහ කරන්න...
සතුටට විතරක් නෙමේ දුකටත් ජිවිතේ ඉඩක් දෙන්න..
ජිවත් වෙලා මේ ඉන්න ටිකේ උදව්වක් උපකාරයක් කරගෙන හිනා වෙලා සතුටින් ඉමු... 



Friday, February 7, 2014

පෑන් පැන්සල් එක්ක ඔට්ටු වෙන... තනිරුල් පොතක් ජිවිතයම මගේ...




ජීවිතෙත් හරියට තනිරුල් පොතක් වගේ... 
මුලින් ඉරි කෑලි, රවුම්, කොටු, ඉලක්කම්, අකුරු ලියනවා පැන්සලෙන් පුරුදු වෙන්න...
පස්සේ ටික ටික වචනයෙන් වචනය... වාක්‍යයෙන් වාක්‍යය... ජේදයෙන් ජේදය ලියන්න පුරුදු වෙනවා මකනයෙන් මක මක... 
එත්.. පහු වෙද්දී ඒ පොතේ පෑනෙන් ලියන්න වෙනවා...
හැබැයි පැන්සලෙන් මක මක ලිව්වා වගේ වරද්දන්න බෑ... 
පරිස්සමට ලියන්න ඕනේ කල්පනාවෙන්... 
වැරදුනා කියලා පොත පැත්තකට දාල හරියන්නෙත් නෑ ... 
වැරදි ගැන හිත හිත ඉන්නත් බෑ ...
ඒ වැරදිත් එක්ක ඉස්සරහට යන්න ඕනේ... 



*
සමහරු ලියද්දි වැරදුනා කියලා මුළු පොතම පැත්තකට දානවා... (දිවි නහගන්නවා)
*
සමහරු පොත ලස්සනට ලියාගෙන යනවා... (ජිවිතේ ඉස්සරහට යනවා)
*
සමහරු පොතට ලස්සන පිටකවරයක් දාගෙන පිටින් විතරක් ලස්සන කරගෙන ඉන්නවා... ඒත් ඇතුලෙන් හිස්... (එලොවත් නෑ මෙලොවත් නෑ)
*
සමහරු පිටිනුයි අතුලෙනුයි දෙකම ලස්සනට තියාගෙන ඉන්නවා.... (ආදර්ශමත් ජිවිතයක්)



ඒ අතරේ මම....
...........>>>>>>>>



පොතත් අතේ තියාගෙන... පෑනත් අතේ තියාගෙන...
ලියන්නේ මොනාද.. කොතනින්ද පටන් ගන්නේ කියලා...
කල්පනා කර කර ඉන්නවා...
  


හැපුයි... :( :( :(