අහස සේ නුඹ අනන්තයි....

Saturday, July 13, 2013

දෝණිගේ කතාව - ( 2 කොටස )


 1 වැනි කොටසේ සිට >>>>

මාස එකහමාරකට පස්සේ දෝණි රෝහලෙන් ගෙදර ආපු දවස අයියට ඉහේ මලක් පිපුනා වගේ සතුටක් වුණා. වෙනදට වගේ දැන් නංගිත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්නේ කියලා තුටින් ඉපිලුනා. එත් පහු වෙද්දී අයියට තේරුම් ගියා නංගිට කන් ඇහෙන්නේ නෑ කියලා, ඒත් ඒ ඇයි කියලා ඒ පුංචි හිතට තේරුම් ගන්න බැරි වුණා, මොනවා උනත් නංගි ආපහු ආවනේ කියලයි අයියා නිතරම හිතුවේ.දැන් දෝණිට ජිවිතේ අලුත් දෙයක් වගේ පෙනුනේ. කිසි දෙයක් ඇහෙන්නේ නෑ.පේනවා විතරයි. වෛද්‍යවරු කියල තිබුනේ මාස 6ක් වත් දෝණිට විවේකය අවශ්‍යයි කියලා. ඒ නිසා දෝණිට නිහඬ ලෝකයට හුරු වෙන්න කල් තිබුණා. පාසැල් නොගියත්, පන්ති භාර මිස් දෝණිට ගෙදර ඉදන් කරන්න ගෙදර වැඩ පොත් වල සටහන් කරලා එවුවා.දෝණි අම්මගේ උදව්වෙන් ඒවා කරලා විෂය කරුණු අවබෝධ කරගත්තා, අකුරු, වචන, අදුරගන්න, ශබ්ද කරන්න පුළුවන්කම තිබ්බ නිසා දෝණිට ඉගෙනීම් කටයුතු කරගන්න පුළුවන් වුණා. මාස 6කට පස්සේ දෝණි අයෙමත් පාසල් ගියා. ටිකෙන් ටික දෝණි හැමදේටම හුරු වුණා. එත් ඇහෙන්නේ නැති නිසයි,  කථන අපහසුතාවයයි නිසා පංතියේදී අසා ලිවීම, කියවීම ආදියෙන් නම් දෝණි දුර්වල මට්ටමක හිටියේ. කෙසේ හෝ දෝණි 5වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුණා. ඇය මුළු පාසලටම නිහඬ ආදර්ශයක් වුණා.කාලයත් සමගම ඇය ඉගෙනීම් කටයුතු කෙරෙහි දක්ෂතාවයන් දැක්වුවා. සටහන් වලින්, පොත් වලින් පමණක් දැනුම හොයාගෙන ඇය 6වසරේ සිට නොකඩවා  පංතියේ පළමු,  දෙවන, තෙවන ස්ථාන ලබාගත්තා.සාමාන්‍ය පෙළ විභාගය ද හොදින් සමත් වුණා.

ඒ කාලයේදී දෝණිගේ ආදරණිය තාත්තා නැති වුණා. පොඩි කාලේ ඉදලම දෝණිට හුගාක් සමීප වෙලා හිටියේ තාත්තා. ඉස්කෝලේ ඇරිලා ඇවිත් දෝණිට කන්න බොන්න කෑම බීම ගොඩක් ජාති ගෙනල්ල, ෆ්‍රිජ් එකට දාල තියනවා, දෝණි කන්න ආස වෙරළු, ජම්බු වගේ දේවල් කොහේ හරි තියෙනවා  දැක්කොත් ගෙනත් දෙනවා, දෝණිත් එක්ක ගොඩාක් වෙලා විහිලු කතා කියනවා. පිටතට නොපෙන්නුවට හුගාක් දැඩි බැඳීමක් දෝණියි, තාත්තයි අතරේ තිබුණා. දෝණි හුගාක් කම්පනය වුණා තාත්තාගේ වියෝවෙන්. දැන් දෝණිගේ ලෝකයේ ඉන්නේ අම්මයි, අයියයි විතරයි. තාත්තගේ වියෝව නිසා දෝණිට උසස් පාසලකට ඇතුලත් වෙන්න සිහියක් තිබුනේ නෑ. හිටපු පාසැලේ උසස් පෙළ පංති නැති නිසා කිට්ටුව තියෙන වෙනත් පාසලකට දෝණි ඇතුලත් වුණා. ඒ වෙද්දී උසස් පෙළ පංති පටන් අරන් තිබුනේ. හෙවනැල්ල වගේ අම්මයි, අයියයි හිටපු එක දෝණිට ලොකු ශක්තියක්, ධෛර්යක් වුණා.දෝණී හොදින් උසස් පෙළ විභාගය සමත් වුණා. විශ්වාස කරන්න.... ඇය ඉගෙන ගත්තේ සාමාන්‍ය පංතියක, සාමාන්‍ය ළමුන් එක්ක, ඇහෙන්නේ නැති ඇය සටහන් ලියාගත්තේ යාලුවන්ගේ පොත් බලාගෙන, යාලුවෝ ඇයට හුගක් උදව් කළා. විශ්ව විද්‍යාලයට අයැදුම් කරන්න පුළුවන්කම තිබුණත් දෝණි බාහිරව කලා අංශයෙන් උපාධිය හදාරන්න තීරණය කළා.දැන් ඇය දෙවන වසරට සුදානම් වෙනවා. ඒ අතරතුර දෝණි තවත් පාඨමාලා කිහිපයක් හදාරනවා. තව නොබෝ දිනකින් ඇය රැකියාවකටත් යොමු වේවි.

දෝණිට තවමත් කන් ඇහෙන්නේ නෑ. කතා කරන්න පුළුවන් හොදට. එත් ඇහෙන්නේ නැති මිනිස්සුන්ටත් වඩා හොදින් ඇය ජීවිතේට මුහුණ .දෙනවා, දෝණිට ඇහෙන්නේ නෑ කියලා කාටවත් විශ්වාස කරන්නත් අමාරුයි. බොරුවක් කරන්නේ කියල ගොඩක් අය දෝණිට දෝෂාරෝපණය කළා. එත් ඒ හැමෝටම පහු වෙලා හරි තේරුම් ගියා ඇත්ත තත්ත්වේ. දෝණි ඒ කිසි දේකින් වැටුනේ නෑ.අම්මගේ මග පෙන්වීම යටතේ දෝණි අනාගතේට මුහුණ දෙනවා. වෙලාවකට  ඇහෙන්නේ නැති එක ගැන දුක නොහිතෙනවා නෙමෙයි. එත් සියල්ල උපේක්ෂාවෙන් දරාගෙන දෝණි අනාගතේ වෙනුවෙන් සටන් කරනවා, දෝණිගේ අම්මටයි, අයියටයි, දෝණි ගැන ආඩම්බරයි. දෝණිගේ තාත්තා ජිවතුන් අතර හිටිය නම්, ඒ තරමටම තාත්තත් ආඩම්බර වෙනවා ඇති තමන්ගේ පුංචි දෝණි ජීවිතේට මුහුණ දෙන හැටි දැකලා.

හිතන්න ගොඩක් දේවල් තියෙනවා නේද මේ කතාවේ.  ලැබීම්, නොලැබීම්, අපි කාටත් උරුමයි. නොලැබුණු දේට වඩා ලැබිල තියෙන දේ ගැන හිතන්න ඕනි අපි නිතරම, කතාවක් තියෙනවා "අපි කරන පව් පින් අපේ පසුපස රෝදයක් වගේ කැරකිලා එනවා" කියලා. ඒ නිසා අපි අවංකව, සත්‍යවාදීව, උත්සහවන්ත වෙන්න ඕන. මම මේ කතාව ලියන තීරණය කලේ, මේ කතාවෙන් කිසිවෙකුට හෝ ආදර්ශයක්, මග පෙන්වීමක් ලැබේවා කියන පිවිතුරු චේතනාවෙන්.

                                                         ____සඳ කින්නරාවි____
                                                                

4 comments:

  1. wooow nanga aththatama godak honda kathawak oya liyala tiyenne....
    api hamotama ape jeewitha walata godak adarsha ganna puluwan meken...

    ReplyDelete
    Replies
    1. තැනකු සෝ මච් බ්‍රෝ....
      මටත් ඕන උනේ ඒ ටිකම තමා. සතුටුයි.

      Delete
  2. උත්සාහය තමයි අවශ්‍ය වෙන්නෙ..

    ReplyDelete