අහස සේ නුඹ අනන්තයි....

Sunday, December 8, 2013

මේ මනු ලෝකේ සුරිදිනු මගේ....දෙවියොත් මගේ ආදර තාත්තයි...!!!


අප්පච්චි ඈත අහසේ තරුවක් උන දා ඉදං අපේ මුළු ගෙදරම පාලුවට ගිහින්... ඉස්සර සිංහල අලුත් අවුරුද්ද දවසට, ජනවාරි පළවෙනිදට මට අනිවාර්යෙන් කිරිබත් කටවල් 3ක් හම්බුනා... එකක් අප්පච්චිගෙන්... තව එකක් අම්මිගෙන්.. අනික අයියගෙන්... දැන් අම්මි විතරයි මට කිරිබත් කටක් කවන්න ඉන්නේ....අයියත් රට ගියා... එදාට දුක වැඩි කමට අම්මයි මමයි අඬනවා හොදටෝම.. මම ආසම නෑ ඒ දවස් දෙකට.. ඒ වගේම මගේ උපන් දිනේ දවසටත්...


මට මතකයි අම්මි දවසක් කිවුවා අප්පච්චිට එයාගේ උපන් දිනේට හම්බුන ලස්සනම තෑග්ග මමලු... අප්පච්චිගේ උපන් දිනේට පහු වෙනිදා තමයි මම ඉපදිලා තියෙන්නේ... මැයි 15අප්පච්චිගේ..මැයි 16 මගේ... ඉතිං දවස් දෙකක් කිරිබත් හදනවා අම්මි... මං සල්ලි එකතු කරලා පොඩි තෑග්ගක් ගෙනත් හංගලා තියල අප්පච්චිගේ උපන්දිනේ දවසේ උදේම නැගිටලා අප්පච්චිට දීල දණ ගහලා වැඳලා උම්මා එකකුත් දෙනවා... අන්න ඒ වෙලාවට අප්පච්චිගේ ඇස් ලාවට වගේ කඳුළු උනලා දිලිසෙනවා සතුටට... එදාට ඉස්කෝලේ ගිහිල්ලත් යාලුවොත් එක්ක කියවන්නේ ඒ ගැනමයි.. පුංචි කමට උනත් ඒ දවස් වල මං කරපුවා මතක් වෙද්දීත් මගේ ඇස් තෙත් වෙනවා...

චුටි කාලේ ඉදං ඩේ කෙයාර් එකේ හැරුනම මගේ ජිවිතේ වැඩි හරියක් අප්පච්චි එක්කමයි ගෙවුනේ.. ඒ කාලේ යුද්දේ නිසා ආර්මි එකේ හිටිය අම්මිට හුගාක් වැඩ තිබ්බා.. උදේට ගිහින් රෑට ගෙදර ආවේ... ඒත් අප්පච්චි අම්මි වගේ බිසී උනේ නෑ...ඉතිං මං දන්නා කාලෙක ඉදන් මගේ ලෝකේ වීරයා උනේ අප්පච්චි.. අප්පච්චිට මං කොච්චර ෆිට්ද කියනවා නම්, ගෙදරදී හලෝ මචං කියලා තමා මං අප්පච්චිට කතා කලෙත්... අම්මිත් එක්ක, අයියත් එක්ක රණ්ඩු උනාම අප්පච්චි මගේ පැත්ත ගත්තේ හැමදාම... කවදාවත් අපි හැමෝම කෑවද හොයලා බලලා මිසක් කෑවේ නෑ... මං තරහ වෙලා නොකාම නිදාගද්දී අප්පච්චි කාමරේට ඇවිත් මාව ඇහැරවලා කන්න එක්ක යනවා... මං කෑවේ නැත්තම් අප්පච්චිට හරිම දුකයි... ඒ කාලේ මං හරිම දඟ මල්ලක්... අප්පච්චිට වද දීලා ඇති අනන්තවත්... ඒත් මට ගුටියක් හම්බෙන්නේ හරිම කලාතුරකින්...ඇත්තටම හරිම සුන්දරයි ඒ කාලේ...

අප්පච්චි නැති උනාට පස්සෙයි මං දැනගත්තේ ගමේ අයගේ හිතේ අප්පච්චිට තිබුන තැන.... සල්ලි වලින් පෝසත් නැති උනාට අප්පච්චිට තිබ්බේ මනුස්සකමින් පෝසත් හිතක්.. අදටත් මං පාරේ යද්දී ගමේ කව්රු හරි මාව දැක්කම කියන්නේ අර අපේ ප්‍රේමසිරි අයියගේ දෝණි නේද කියලා...ඊට පස්සේ කතා වෙන්නේ අප්පච්චිගේ හොදමයි.... මාව දකින ගොඩක් අය කියනවා අප්පච්චිගේ ඇස් දෙක වගේමයි, අප්පච්චිගේ හිනාව වගේමයි කියලා.... ඒ හැමදේටම වඩා මට ආඩම්බර අප්පච්චිගේ දෝණි කියනකොට... කවදාවත් ගමේ කොල්ලෙක් වත් මට විහිළුවක් කරලා නෑ... අම්මියි මමයි මේ ගෙදර තට්ට තනියම ඉදලත් කුරා කුඹික්ගෙන් වත් කරදරයක් නැතුව අදටත් මේ ගමේ ඉන්න පුළුවන් උනෙත් අප්පච්චි හින්දයි..

දැන් මගේ උපන් දිනේ දවස ගෙවෙන්නේ පන්සලේ.... එදාට මට පුදුම දුකයි.... පන්සලට ගිහින් මල් පුජා කරලා, පහන් පත්තු කරලා අප්පච්චිට පින් දීලා හවස් වෙලා ගෙදර එනවා... මගේ ජීවිතේට මං හුගාක්ම අසරණ උනේ අප්පච්චි නැති උන දවසේ.... මං අප්පච්චිගේ මිනිය වත් දැක්කේ නෑ... මට ඒක දකින්න හයියක් තිබුනේ නෑ ... හිත හදාගන්න සෑහෙන්න කාලයක් ගියා... අදටත් සමහර දාට අප්පච්චි මතක් වෙලා රෑට කාටවත් නොදැනෙන්න අඬනව... 



අප්පච්චි තමයි මගේ ලෝකේ පළවෙනි වීරයා... ඒ වගේම පළවෙනි ආදරයත්... 
උපදින හැම භවයකම අප්පච්චිගේ දෝණි වෙලාම ඉපදෙන්න කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ... අප්පච්චි නැතුව ගොඩාක් පාලුයි.... මං පොරොන්දු වෙනවා අප්පච්චිගේ දෝණි කියලා හැමෝටම ආඩම්බරෙන් කියන්න පුළුවන් විදියට හොද කෙනෙක් වෙනවා කියාලා..

10 comments:

  1. දිරියෙන් ඉදිරියට යන්න!!!!!!!! යහපත් දියණියක් වෙන්න.

    ReplyDelete
  2. පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී..

    ReplyDelete
  3. සුභ පතනව පැතුම් ඉටු වෙන්න

    ReplyDelete
  4. Jiwithe kiyanne maha aruma puduma deyak.. Samaharu adaddhi samarahu hina wenawaa. Idiriyatama ynna oya jiwithen...

    ReplyDelete
  5. ඔයා නැති දාට ඔයාගෙ උනුහුම නැති දාට මට මෙච්චර ඔයාගෙ අඩුව,පාලුව දැනෙනව කියල දන්නවනම්, ජීවත් වෙන තත්පරයක් පාසා ඔයාගෙ ලගින් හෙලෙවෙන්නෙවත් නඒ අප්පච්චී..

    "සුදු පුතා''

    ReplyDelete