අහස සේ නුඹ අනන්තයි....

Tuesday, June 11, 2013

මාතු පාදං නමාමි... පීතු පාදං නමාමි....


ගෙවෙන හැම තත්පරයක්, තත්පරයක් ගානෙම අපි ජීවිතේදී කිසියම් දෙයක් ඉගෙන ගන්නවා, අත්දැකීම් ලබනවා, උපන් දා පටන් මැරෙන තෙක්ම එහෙමයි. අම්මයි, තාත්තයි තමයි අපේ ජිවිතේ පළමුවෙනි ගුරුවරු දෙපළ. ඉස්සරෝම කියලා 'අ' යන්න 'ආ' යන්න කියන, ලියන හැටි විතරක් නෙමෙයි ලැජ්ජා  බිය ඇතුව විළි වහගන්න, ඇදුමක බොත්තමක් දාගන්න, පිගානේ බත් ටික හලාගන්නේ නැතුව අතින් අනාගෙන කන්න, අර පුසා... අර බව්වා... අර හප්පා... කියලා සත්තු අදුරගන්න, මේ හැමදේම කියල දුන්නේ අපේ රත්තරං අම්මයි තාත්තයි.

පුංචි කමට කියලා අපි දඟ වැඩ කරද්දී කෝටු පාරවල් අනන්තවත් කාල තියෙනවා නේද අපි හැමෝම. එහෙම ගුටි කාල, හොටු පෙරාගෙන අඬපු හැටි මතකද... මතක් වෙද්දීත් හිනා යනවා.ඊට පස්සේ ගුටි කාපු හැටි මතක නිසා ඒ දඟ වැඩේ අයෙත් කරන එකත් ඉබේම නවතිනවා. හැබැයි තවත් අලුත් දඟ වැඩක් පටන් ගන්නවා. ඒවටත් ඉතිං හොඳ නරක අනුව ප්‍රතිපල හම්බෙනවා, ඔන්න ඔය වගේ සුන්දර විදියට තමයි අපේ ළමා කාලේ ගෙවුනේ. 



අපේ ඒ ළමා කාලේ සුන්දරවත් වුනේ අම්මයි තාත්තයි හින්දා. අම්මගෙයි තාත්තගෙයි ආදරය, රැකවරණය, තුල හැදී වැඩුනා. අපේ ඒ ළමා ලෝකේ සුන්දර කරන්න අම්ම රෑ දාවල් නිදි මරුවා. තාත්තා දාඩිය මහන්සිය නොබලා හම්බ කළා. ඒත් එයාල කවදාවත් අපිව වදයක් කියලා හිතුවේ නෑ. දිවි පරදුවට තියලා අපිව රැක ගන්න පුළුවන් උපරිමයෙන් කැප වුනා, පෙර පාසැල් යවලා, පාසැල් යවලා, දහම් පාසැලෙන් ගුණදම් උගන්නවලා අපිව හැම අතින්ම පෝෂණය කළා.

අද අපි යම් ජයග්‍රහණයක් ලබා ඇත්ද, යම් තැනක සිටීද, ඒ හැමදේකම පිටුපස සෙවනැල්ල වගේ ඉන්නේ අපේ අම්මයි තාත්තයි. කවුරු හරි කිව්වොත් "ලෝකේ ඉන්න හොදම අම්මයි තාත්තයි, මගේ අම්මයි තාත්තයි" කියලා. ඔයා ඒක පිළිගන්නවද? නැහැ. මම නම් පිළිගන්නේ නෑ. මට නම් ලෝකේ හොදම අම්මයි තාත්තයි, මගේ අම්මයි තාත්තයි තමයි, ඔයාලටත් එහෙමයි නේද, කවුරු අපිව අතෑරියත් අම්මයි තාත්තයි අපිව අතාරින්නෙ නෑ. අපේ සතුට තමයි එයාලගේ මුළු ලෝකෙම. 




මං දෙයක් කියන්නම් හදවතින්ම. කොච්චර උසස් තැනක හිටියත් 'මේ මගේ අම්මා'  'මේ මගේ තාත්තා' කියලා එයාලව හදුන්වලා දෙන්න පැකිලෙන්නෙපා කවදාවත්. නෙලුම් මල් දහසක් පුජා කරලා ලබන පිනට, ආශිර්වාදයට වඩා අම්මගෙයි, තාත්තගෙයි දෙපා වැඳලා එයාලගෙන් ලබන ආශීර්වාදය,පින දස දහස් ගුණයක් බලවත්. ගෙදරින් පිටවෙලා කොහේ හරි යද්දී උනත් අම්මටයි, තාත්තටයි දණ ගහලා වැඳලා යන්න පුරුදු වෙන්න. ඉගෙනගෙන, ලොකුවට නැතත් පුළුවන් හැටියට රස්සාවක් කරලා හම්බ කරලා, ඒ සල්ලි වලින් ඇදුමක් අරන් දීලා, එක වේලක් හරි උයලා බත් කටක් කවලා එයාලගේ හිත් සතුටු කරන්න.ඒ මොහොත සඳාකල් එයාලගේ මතකයේ රැඳී තියේවි. ඔව්. ඇත්තමයි.

කවි කිය කියා පොඩි කාලේ නැලෙවුවලූ
සුරතල් සිනා දැක දැක නුබ සැනසුනලූ
පපුවේ හොවා මට උනුහුම දුන්නාලූ
මතකයෙ නැත්තෙ මං ළදරුව හින්දාලූ

කන්නට රඡ බොඡුන් මසවුලු නැතුවාට
ඉන්නට මහා සත් මාලිග නැතුවාට
උකුලේ තියන් නුබ හිස අත ගානවිට
දැනුනා තාත්තේ සුර සැප මගෙ හිතට

දහඩිය කදුලු මද සුලගට මුසු වෙන්නේ
ඒ සුලගෙන් බිදක් නැත නුබ මට දුන්නේ
හිස සිබ මගේ දුක් ගිනි හැම නුබ ගන්නේ
කොහොමද තාත්තේ ඔය හැටි උහුලන්නේ...

____________________________________________________
 
අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුරලොව සිට අතපා ඒ කඳුළැලි පිසිනා

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක් දන්නා අම්මවරුමයි
සංසාරේ මතු බුදු වන්නේ

සෙනෙහස ඇති දා සිතද බොළඳ වී
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනි වූ දා

අම්මා පමණයි ළඟ ඉන්නේ


6 comments:

  1. ගොඩක්ම ලස්සනයි යාළුවා..දිගටම ලියන්න...අපි එන්නම් බලන්න...

    ReplyDelete
    Replies
    1. ටැංකිව් යාලුවා :D
      හමුවීම සතුටක්.

      Delete
  2. අද පොස්ට් එක ගොඩක් ලස්සනයි නංඟා....
    හ්ම්..ඒක නම් ඇත්ත.... කවුරු නැතත් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ඒ දෙන්නනේ....

    ReplyDelete
    Replies
    1. එයාලගේ අගය වැඩියෙන්ම දැනෙන්නේ එයාල නැති වුනාමයි අයියේ...
      ඒක තමා නරකම දේ...
      හ්ම්ම්ම්.....
      කමෙන්ටුවට ගොඩාක් තුති ^_^

      Delete