අහස සේ නුඹ අනන්තයි....

Wednesday, May 7, 2014

මට අහිමි මම......



තේරෙන් නෑ කොතනින් පටන් ගන්නද කොතනින් ඉවර කරන්නද කියලා.... හිතේ තියාගෙන ඉන්නවට වඩා මෙහෙම ලියලා දාලා හිත නිදහස් කරගන්න හිතුනා...

ඉස්සෙල්ලම මේක කියන්න ඕනේ.... මට කාගෙවත් අනුකම්පාව ගන්න ඕන නිසා නෙමෙයි මෙහෙම ලියන්නේ...

තවත් එක ස්ටෝරියක් කියලා හිතාගන්නකෝ.... ඒ මදැයි... හ්ම්ම්ම්ම්....

අවුරුදු ගානකට කලින් මාත් සතුටින් නිදහසේ හිටපු සාමාන්‍ය කෙල්ලෙක්.... අම්මීගෙයි අප්පච්චිගේයි අයියගෙයි හුරතලී විදියට හරිම ලස්සනට ජීවත් උනේ....

ඒත් එක්තරා සිදුවීමක් මගේ ජීවිතේම වෙනස් කළා... අදටත් මන් ඒක මතක් කරන්නත් අකමැතියි... ඒත් තිත්ත උනත් ඇත්ත ඒකයි...

ස්කූල් යන කාලේදී (ඒ කියන්නේ පොඩි කාලේ) මන් හිටිහැටියේම අසනීප වෙලා තියෙනවා.... මාස එකහමාරක් හොස්පිටල් එකේ බෙහෙත් වල පිහිටෙන් ජීවත් උනේ...

ඒ මාස එකහමාරෙන් සති ගානක්ම අයි සී යූ එකේ හිටියේ... කෙටියෙන් කිව්වොත් මරණය අත ළග තිබ්බේ...

ලෙඩේ තමා මෙනින්ජිටිස්.... (මොළයට විෂබීජයක් ගිහින්) ඒක හුඟාක් දරුණු ලෙඩක්... ගොඩාක් අය මැරෙනවා මේ ලෙඩේ හැදුනම... බොහෝම ටික දෙනෙක් ජීවත් උනත්, ට්‍රීට්මන්ට්ස් නිසා අතුරු අබාධ ගොඩයි...

කොහොම හරි මට ජීවත් වෙන්න වාසනාවක් තිබුණා... ඩොක්ටර්ස්ලා එදා හිතුවේ මේක නම් හාස්කමක් කියලා... ඒ තරමට මගේ ජිවිතේ අවිනිශ්විත තත්වෙක තිබ්බේ...

පැය හයෙන් හයට බෙහෙත් එන්නත් කළා මට... බෙහෙත් සැරට නින්ද යනවා හොදටෝම...(නින්ද යනවා කිව්වට ඇත්තටම වෙන්නේ සිහි නැති වෙන එක) ඇස් අරින්නේම නැති තරම්... සේලයින් වලින් තමා හැමදේම...

ඒත් මට සම්පූර්ණයෙන්ම සනීප උනේ නෑ... අතුරු අබාධ වලට මටත් මූණ දෙන්න උනා... මට එච්චර මතකයක් නැතත් අම්මා කියන දේවල් එක්ක බැලුවම හම්මෝ එදා මන් හිටපු හැටි මටම පුදුමයි...

බෙහෙත් වල සැර ස්නායු වලට බලපාල මට ඇවිදගන්න වත් බැරුව හිටියේ... කතා කරාට සද්දේ පිට වෙන්නේ නෑ.... ඇහෙන්නේ නෑ... ඒ වෙලාවේ නම් මට හිතුනේ එකම දෙයයි... අපරාදේ මන් බේරුනේ කියලා... මෙහෙම ඉන්නවට වඩා මැරෙන එක සැපයිනේ...

ඊටත් වඩා මට වෙලා තියෙන දේ නිසා අම්මි, අප්පච්චී, අයියා කඳුළු බිබී හිටියේ... පස්සේ එයාලා වෙනුවෙන් වත් ජීවත් වෙන්න හිතාගත්තා දුක පැත්තකට දාලා...



කාලයත් එක්ක මට ඇවිදින්න පුලුවන් උනා... කතා කරන්නත් පුලුවන් උනා... ඒත් වොයිස් එක ටිකක් අවුල්... ඇහෙන එක නම් වෙනසක් නෑ ... ඒ කියන්නේ මම අදටත් ශ්‍රවණාබාධිතයි...

මාස හයකට පස්සේ ආයෙත් ස්කූල් ගියා මම... ඇහෙන්නේ නැතුව ජීවිතේ විඳින එක මට ලොකුම අභියෝගයක් උනා...

කාලයත් එක්ක ටික ටික හුරු උනා... සාමාන්‍ය විදියටම සාමාන්‍ය ළමයි එක්කම ඉගෙනග
ත්තා මන්... හැබැයි මානසිකව නම් අනන්තවත්ව වැටිලා තියෙනවා... මතක් වෙද්දි ඇස් වලට කඳුළුත් එනවා...

මට මතකයි ස්කූල් එකේදී මම පන්තියේ වැඩිම ලකුණු ගත්තා ගොඩක් විෂයන් වලට... ගොඩක් වෙලාවට මම පන්තියේ පළවෙනියා, දෙවැනියා නැත්තම් තුන්වැනියා...

අන්න ඒ නිසාම සමහරු මාත් එක්ක හෙන තරහයි... එයාල හිතන්න ඇති කන් ඇහෙන්නෙත් නැති කෙල්ල පැන්න උඩක් කියලා... මූණටම කිසි දෙයක් නොකිව්වත් මාව මානසිකව හුඟාක් වට්ටලා තියෙනවා යාලුවෝ...


දහය වසරෙදී මට වෙච්ච අමතකම නොවෙන දෙයක් තියෙනවා... සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයයට මුලු බැච් එකේම මගේ පොතේ විතරයි නෝස්ට් සම්පූර්ණ කරලා තිබ්බේ...

මම නෝට්ස් ලියාගන්නෙත් ඉතින් වෙන අයගේ පොත් බලාගෙන තමා... මොකද මට ඇහෙන්නේ නෑනේ... ඉතින් සර් මගේ පොතෙන් තමා ගොඩාක් වෙලාවට අනිත් පන්ති වලට නෝට්ස් දෙන්නේ... ඊටත් වඩා නෝට්ස් සම්පූර්ණ නැති ළමයින්ට සර් බනිනවා මගේ පොත පෙන්නලා මන් ගැන කිය කිය...

දවසක් බලද්දී මගේ පොත අතුරුදහන්... හෙව්වා හෙව්වා හම්බුණේම නෑ... ස්කූල් ගෙනාවා කියලා හොඳට මතකයි... ඒත් බෑග් එකේ පොත නෑ... මට මාරම දුකයි දැන්.. කාට කියන්නද ඉතින්...

කොහොම හරි දවස් හතර පහකට පස්සේ පොඩි පන්තියක මල්ලී කෙනෙක් අපෙ ක්ලාස් එකට ඇවිත් මගේ නම කියලා මාව අහලා... මාත් ගිහින් බැලුවා... දෙයියනේ ඒ මල්ලිගේ අතේ මගේ පොත තියෙනවා... මාව හොල්මන් උනා...

මල්ලී පොත මගේ අතට දීලා කිව්වා අක්කේ මේ පොත අපේ පන්තිය ගාව කුණු ගොඩේ තිබ්බා කියලා... ඒ වෙද්දිත් පොත වැස්සට තෙමිලා අකුරු බොඳ වෙලා තිබ්බේ... මට ඉකි ගැහෙනවා දැන්...

අමාරුවෙන් වචන ටිකක් එකතු කරලා මල්ලිට ගොඩාක් පින් කියලා මන් ආයෙත් පන්තියට ආවා... එදා මන් ඇඬුවා හොඳටෝම... මට හොඳට තේරුණා මේක මාත් එක්ක තරහට කවුරු හරි හිතලම කරපු දෙයක් කියලා... මොනා කරන්නද... අඬලම හිත හදාගත්තා...

එදා සර් මගේ ඔලුව අතගාල එක දෙයක් කිව්වා... දුවේ පොතට මොනවත් උනාට ඔයාගේ හිතට මොනාත් උනේ නෑනේ... වෙච්ච දේ ගැන හිතලා දුක් නොවී ඒ කාලේ ප්‍රයෝජනේට අරන් පාඩම් කරන්න... මන් නෝට්ස් හොයලා දෙන්නම් කියලා... අදටත් මන් ඒ සර්ට පින් දෙනවා අර වෙලාවෙදී මට නැගිටින්න දිරිය දුන්නට...


ඇහෙන්නේ නැතුව කෙල්ලෙක් හැටියට සමාජෙත් එක්ක ජීවත් වෙන එක හරිම අමාරුයි... කවුරු කොහොම හිතුවත් මමයි දන්නේ ඒකේ අමාරු තරම...

මගේ හෙවනැල්ල වගේ අම්මයි අප්පච්චියි අයියයි මාත් එක්ක හිටියා... කොයිම වෙලාවක වත් එයාල මාව තනි කළේ නෑ...

අප්පච්චී නම් ඈත අහසේ තරුවක් උනා සඳහටම... අයියත් රට ගියා... අම්මී මන් වෙනුවෙන්ම කියලා ආර්මි එකෙනුත් අයින් වෙලා මාත් එක්ක හිටියා මගේ හැමදේකටම...

ඒ ලෙවල්ස් කාලේ තමා මගේ ස්කූල් ලයිෆ් එකේ හොඳම කාලේ... අලුත් ස්කූල් එකේදි හැමෝම නැතත් ගොඩක් දෙනා මාව ආදරයෙන් පිළිගත්තා...

දෙවැනි අවුරුද්දේදී පන්තියේ හැමෝම මාත් එක්ක ෆිට්... ඕන දේකට සපෝර්ට්... හර්ෂනී, අමාලි, යසුරි, ටිනාෂි මේ හතරදෙනා තමා මගේ සමීපතම යාලුවෝ, අදටත් එයාලා මාත් එක්ක ඉන්නවා...

ඉතින් දැන් ස්කූල් ලයිෆ් එකට බායි කියලා ඉවරනේ... කොච්චර අමාරුකම් මැද්දේ උනත් අම්මී මට ඉහළටම ඉගෙනගන්න කියලා අවවාද කළා...

මට අහිමි උනේ ඇහෙන එක විතරනේ... ඒත් මට ඊට වඩා හැකියාවන් ගොඩක් තිබ්බා... අන්න ඒවායින් ප්‍රයෝජන ගන්න අම්මී කියලා දුන්නා...

දැන් මම ජ'පුර කැම්පස් එකේ දෙවැනි වසරේ අවසන් විභාගේ ලියන්න ඉන්නේ... ආපස්සට හැරිලා බලද්දී අද මම ඉන්න තැන ගැන මට මාරම සතුටුයි... අම්මී තමයි මට ජීවත් වෙන හැටි කියලා දුන්නු දෙවියෝ...

මම කොච්චර ඉහළට ඉගෙන ගත්තත් මට ඇහෙන්නේ නැති එක නිතරෝම අඩුවක් වගේ දැනෙනවා අනන්තවත්... ඉවසන එක ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ ඉතින්...

සුදුසුකම් අනූව මට ජොබ් කිහිපයක් සෙට් උනා... ඒ හැම එකක්ම හොඳම තත්වයේ ඒවා... ඒත් මට ඒ හැමදෙයක්ම අතාරින්න උනා... මොකද ඒ තනතුරු වල වගකීම දරන්න අමාරුයි මගේ තත්වේ නිසා...

අන්න ඒ වගේ වෙලාවට මන් හිතින් වැටෙනවා මාර විදියට... අඬන්න හිතුනත් මන් අම්මීට පේන්න අඬන්නේ නෑ.... එතකොට අම්මිත් අඬනවනේ... ඒක මට දරාගන්න අමාරු දෙයක්... ඉතින් ඉබේම හිත හැදෙනවා...


වෙලාවකට මේ හැමදේම අතෑරලා දාලා ආබාධිතයෙක් වගේ ජීවත් වෙන හැටි ඉගෙන ගන්න හිතෙන වාර අනන්තයි... මොකද අම්මී මට සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න කියලා දුන්නේ... දවසක සනීප උනාම සාමාන්‍ය විදියටම ඉන්න පුලුවන්නේ කියලා..

ඒ බලාපොරොත්තුව තමා අදටත් මාව ජීවත් කරන්නේ... මම දන්නේ නෑ මන් සනීප වෙයිද කියලා.. ඩොක්ටර්ස්ලා කියන්නේ ඒක කවදා කොයි වෙලාවේ වෙයිද කියන්න බෑ... සනීප වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියලා... සනීප උනත් නැතත් මම එපැයි ජීවිතේ ගෙවලා ඉවර කරන්න...

දවසක් කෙනෙක් මගෙන් ඇහුවා ඔයාට ඇහෙන්නේ නැත්තම් මොකටද ෆෝන් එකක් කියලා... මට හිනා ගියා ඒ වෙලාවේ... ටික වෙලාවකින් ඇස් වලට කඳුළු පිරුනා...

ෆෝන් එකක් තියෙන්නේ කෝල්ස් ගන්න විතරමද... වෙන ඔප්ෂන් කොච්චර තියෙනවද... මැසේජ්ස් යවන්න ඇහෙන්න වත්, කතා කරන්න වත් ඕනේ නෑනේ...

මිනිස්සු වෙලාවකට හරිම පුදුමයි... තව කෙනෙක්ගේ හිත රිදෙනවා කියලා නොහිතා කටට ආපු පළියට කියෝනවා...

ඔන්න ඕකයි මගේ කතාව........!!!





මන් දැකලා තියෙනවා ගොඩාක් අය ඉන්නවා පොඩි ඔලුවේ කැක්කුමක් හැදුනත් ඊට වඩා දුකක් නෑ වගේ හැසිරෙන... ඉතින් මන් අහන්නේ මට වෙච්ච දේවල් වලින් ටිකක් වත් ඔයාලට වෙලා තියෙනවද.. නෑනේ...

සතුටු වෙන්න තමන් ගැන... තමන්ට ලැබිලා තියෙන දේ ගැන හිතන්න... අහිමි වීම් ජීවිතේ සුලභයි... ඒ අහිමි උන දේවල් මත්තේම දුක් වෙවී ඉන්න ගියොත් අපිට අනාගතයකුත් නැති වෙනවා...

හම්මේ අතත් රිදෙනවා දැන් නම්... කියවන්නේ ඔයාල උනාට මම එපැයි ටයිප් කරන... මේ ඇති හයියූ... ටටා...

13 comments:

  1. හැමොටම හැමදේම සුපිරියට ලැබෙන්නේ නෑ. ඔයාට ඇහෙනවා අඩුයි. සමහරුට ලස්සන අඩුයි, පෙනවා අඩුයි, ඉගනගන්න අමාරුයි මේ වගේ අඩුපාඩු අපි හැමොටම තියෙනවා අඩු හෝ වැඩි අවශයෙන්. ඒ අඩුව ගැන හිතලා දුක් වෙනකොට අපි ලග තියෙන වැඩිය අපෙන් අත් හැරෙනවා. කාලයක් මටත් මම ලග තිබුන වැඩිය අත්හැරුණා තෙරුම් ගත්ත ගමන් අඩුව අමතක කරලා වැඩිය ගැන හිතලා සතුටින් ජිවත් වෙනවා ! 

    ReplyDelete
    Replies
    1. බුද්ධිමත් තීරණයක්,,,!!! :-)

      ජය වේවා !

      Delete
  2. නංගී, ඔයා ශ්‍රවණාධාර ගැන පොඩ්ඩක් හොයලා බලන්න,අද තාක්ෂණය ගොඩක් දියුණුයි.ඔයා වගේ ගොඩක් අය ජපුර සරසවියේ ඉන්නවා.ඒ ගොල්ලො හොඳට ඉගෙන ගත්තා.

    ReplyDelete
    Replies
    1. හරි අයියේ... තෑන්ක්ස් !!! :-)

      Delete
  3. තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්න

    ReplyDelete
  4. monade unath athithaya gena hithala duk wenna epa yaluwe. anagathaya gena hithala sathutin jivath wenna

    ReplyDelete
  5. ජිවීතේ මිනිස්සුන්ට ගොඩක් දේවල් ලැබෙනවා නැති වෙනවා, ඒක තමා ලෝකේ හැටි :) මොන දේ නැති උනත් අද ඔයා මේ තැනට ඇවිත් ඉන්නවා කියන එක අමතක කරන්න එපා.
    ඒ අතින් ඔයාගේ ධෛර්ය ගොඩක් ඉහලයි. සර්ව සම්පූර්ණ මිනිස්සු නැනේ :)
    මං ඔයාට හදවතිනම සුබපතනවා ඉදිරියටම යන්න ඕනි හැම ශක්තියක්ම ලැබෙන්න කියලා :)

    ReplyDelete
  6. obata ahimi wu oba dineka adaraniya hadakata himiwenu niyathai. edina obata oba nawatha himiwenu niyathai.

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් බලන් ඉන්නවා ඒ දවස එනකන්... ^_^

      Delete
  7. ඔයාගෙ කතාව හරියටම දැනගත්තෙ අද සඳ කින්නරාවි.(මට සමාවෙන්න මොකද මම ඒ දවස්වල ලැජ්ජයි ගොඩක්, දැන්නම් ටිකක් අඩුයි)(අනික හිත රිදෙයි කියල හිතලත් මම ඒක අහන්නෙ නැතුව ඇති) මම හිතන් හිටියෙ ඒ කාලෙ(පාසල් යන කාලෙ) ඔයාට උපතින් ම මෙහෙම ප්‍රශ්නයක් වෙන්න ඇති කියල. මට හිතුන දේ වැරදී කියල අද තමයි මම ස්ථීර කරගත්තෙ. මම හිතන්නෙ ඉස්කෝලෙ යන කාලේ මම සඳ කින්නරාවිත් එක්ක කතාකරලත් නැතුව ඇති(මොකද මම හරිම ලැජ්ජයි, බයයි ගෑනු කට්ටියත් එක්ක කතා කරන්න ඒ දවස්වල) වැඩට යන්න ගත්ත ට පස්සෙ ඒක තරමක් අඩු උනා. (අයියෝ ඊයෙ රෑ ඔයාගෙ කතාව බලල මේක ටයිප් කර කර ඉන්නකොට මට නින්ද ගියා) ඔයාගෙ මේ කතාව ඇහුවහම ගොඩක් දුක හිතෙනව සඳ කින්නරාවි, මම හිතනව සහ ප්‍රාර්ථනා කරනව ඔයාට අර ඩොක්ටර්ස්ල කියල තියෙනව වගේ නොසිතූ වෙලාවක ඉක්මනින් ම සනීප වෙයි. ඔයාට තෙරුන් සරණයි..!
    මෙන්න මේ කාරනාවත් එක්ක මට දෙයක් හිතට ආව ගොඩක් පිං ඔයාට
    "සතුටු වෙන්න තමන් ගැන... තමන්ට ලැබිලා තියෙන දේ ගැන හිතන්න... අහිමි වීම් ජීවිතේ සුලභයි... ඒ අහිමි උන දේවල් මත්තේම දුක් වෙවී ඉන්න ගියොත් අපිට අනාගතයකුත් නැති වෙනවා..."

    ReplyDelete