අහස සේ නුඹ අනන්තයි....

Sunday, March 8, 2015

එහෙන් මෙහෙන් අකුරු අමුණලා... ගලපාගත්තා මං පුංචි වදන් ටිකක්....





සුපුරුදු ජීවිතේ සුපුරුදු දවසක් ගෙවිලා යද්දී....... එකපාරටම අවුරුදු ගානක අතීතයේ දෙයක් මතක් වෙලා මුළු හිතම තිගැස්සිලා ගියේ අහම්බෙන් වගේ..... මං ලැප් එකේ වෙලාව බැලුවා... පාන්දර 1.54යි දැන්... මෙච්චර වෙලා නවල් එකක් බල බල හිටියේ... මට ඉතිං පොතක් පත්තරයක් අතට ගත්තොත් වෙලාවක් අවේලාවක් නෑ... පොත් දහස් ගණන් අස්සේ වැඩ කළත් ඔෆිස් එකේදි පොතක් කියවන්න ෆ්‍රී වෙලාවක් හම්බෙන්නේ එහෙමත් දවසක තමයි... ඒ හින්දා මං වැඩිපුරම කරන්නේ නිවාඩු දවස් වල නෙට් එකෙන් පොත් PDF ඩවුන්ලෝඩ් කරගෙන බලන එක... හැබැයි ඉතිං පොතක් කියවනවා වගේ ආතල් නෑ ලැප බදාගෙන PDF වලින් පොත් කියවන්න ගියාම... එකදිගට ලැප දිහා බලන් ඉදල ඇස් කකියන්නත් ගන්නව... මාත් අතාරින්නෑ හැබැයි.... ඔහොම ඉද්දී තමා දැන් පොත් කියවිල්ල පැත්තකට දාලා බ්ලොග් එකට ආවෙ කුරුටු ගාලා යන්න කියලා... ඉදල ඉදලම මමත් බ්ලොගෙකට එන්නෙ මේ වගේ මහ පාන්දරක තමා.... අම්ම දැක්කොත් ඉතිං සොරිම තමා නිදිමරනව කියල බඩ පිරෙන්න අහලන්න පුළුවන් කැත නැතුව.... ඉස්සර නම් පෝස්ටුවක් ලියලත් ඉවර වෙලා මාතෘකාවක් හෙව්වේ පබ්ලිෂ් කරන්න... දැන් ලියන්නත් මාතෘකාවක් ඕන මට...... ලොකු වෙනසක් තියෙනවා දැන් එදා හිටපු මමයි අද ඉන්න මමයි අතර.... හම්මේහ්...... ලොකු පිම්මක් ඒකත්.... 

හප්පේ මදැයි මං කුරුටු ගාල තියෙන තරමක්... මේවායේ අගක් මුලක් මටවත් හොයාගන්න බෑ දැන්.... :D හැබෑට මං මේ මොනාද ලියන්නේ.... මොනා කුරුටු ගෑවත් මේ අකුරක් පාසාම මගේ ජීවිතේ ගැන ලියවිලා තියෙනවා කියලා නම් කියතෑකි... කෙටියෙන් කිව්වොත් මේක තමා මගේ ඩයරිය... හැබැයි මේ ඩයරිය නම් ඕන කෙනෙකුට කියවන්න අවසරය තියෙනව... මතක ඇති කාලෙක ඉදන් මං සතුටටත් ලිව්වා... දුකටත් ලිව්වා.... හිතට එන හැම විකාරයක්ම ලියන්නත් පුරුදු වෙලා හිටියා කවි නිසදැස් වලින්... වැඩ වැඩි උනාම ඒ පුරුද්ද අඩු උනා.... මොන ප්‍රශ්නයක් ආවත් හැමදේම වෙන්නේ හොඳට කියලා ටාර් ගාලා හිත හදාගත්තෑකි දැන් නම්..... 

මං අත්දැකීමෙන් තේරුම් ගත්ත දෙයක් තමයි දුක් විඳින තරමට, වැටී වැටී නැගිටින තරමට හිත හයිය වෙනවා පුදුමාකාර විදියට.... පඩි සියයක් තියෙන පඩිපෙළක පඩි පනහක් අමාරුවෙන් හරි නැගලා නැගල, පඩිපෙළ මැදට ආවම හිතට ගැම්මක් එනවා මෙච්චර දුර ආව නම් මට ඉහළටම නගින්න බැරි නෑ කියල.... වෙලාවකට ප්‍රශ්න වල හිරවෙලා හිතින් වැටුනම අඬ අඬ ඉන්නවා කිසි දෙයක් හිතාගන්න බැරුව.... පස්සේ තමන්ටම තේරෙනවා අඬලා වැඩක් නෑ කියලා... කඳුළු පිහිදාගෙන නැගිටිනවා ආපහු..... ඇත්තටම ජීවිතේ මෙහෙමයි, මේ වගෙයි කියල පණ්ඩිතයා වගේ කියන්න තරම් එච්චර වයසකුත් නෑ තමා මට... ඒත් මේ අවුරුදු විසි ගානට මං අත්විඳපු දේවල් වලින් ජීවිත කාලෙටම මතක හිටින්න පාඩම් ඉගෙනගත්තා..... යකා අපි හිතන තරම් කළු නෑ අනේ..... :D

කාලයක් තිබ්බා මං බොළඳව හැසිරුන.... :p වෙලාවකට මටම හිනා යනවා ඒවා මතක් වෙද්දී... නොතේරෙන කාලේ අපි කරපු වැරදි තේරෙන කාලෙකට ආවමවත් නිවැරදි කරගන්න බැයිනම් වැඩක් නැනේ නේද..... මං මුලින් හිතුවේ මගේ ජීවිතේ මහා අවුල ජාලාවක් කියලා.... ප්‍රශ්න එනවා මිසක් ඒවට විසඳුමක් නෑ, කෙලවරක් නෑ කියලා..... දැන් මටම තේරෙනවා මමයි අවුල් ජාලාවක් කරගෙන ඉදල තියෙන්නේ කියලා.... :D ඉතිං අමාරුවෙන් හරි වෙනස් වෙලා පිළිවෙලක් කරගත්තා ටික ටික.... හැබැයි ඉතිං අා මඟ කෙටියි.... යා යුතු මඟ දුරයිනේ.... ඊයේ එක දෙයක් කියපු මං අද මෙහෙම කිව්වට හෙට තවත් විදියකට කියයි එක්කෝ...... :p ජීවිතේ ලස්සන කරගන්න එකත් අවුල් කරගන්න එකත් අපේ අතෙයි රැඳිලා තියෙන්නේ.... 

ඉතිං මං දයාබරව කියන්න කැමතියි, ජීවිතේ විඳින්න.... විඳවන්න එපා..... :)



Saturday, January 24, 2015

වැටහෙන් නෑ... ආදරයක්... රිදෙනවා මෙතරම්......



හැමදාම ඔයාට කතා කරල මං රිද්දගන්නවා... එහෙම නොවුන දවසක් තිබ්බොත් අහම්බයක් තමා... ඔව්.. මං අඩනවා.. අඩලම හිත සැටිස් කරගන්නවා.. ආයෙ පහුවෙන්දටත් ඒකම කරනව... මං ඒ ගැන හිතන්නේ නෑ... වරු ගානක් අඬපුවා අමතක කරල විනාඩි ගානක් ඔයත් එක්ක කතා කරපු සතුටින්, ඔයාගෙ සතුට මතක් කර කර ඉන්නව...
මේ අවුරුදු ගානට මං ඔයාගෙන් දැකපු ඒ රළු බව, ආඩම්බරකම අඩුවක් නැතුව තාම එහෙමයි... ඒත් මං ඔයාගෙන් දැක්ක අහිංසක හිතක් තියෙන අව්‍යාජ කොල්ලෙක්... ඔව් මං ඒ අහිංසකයටයි ආදරේ කරන්නේ... පොඩ්ඩ ඇත්නම් රිදෙන මේ හිතට මෙච්චර රිදෙන්න වචන වලින් දමල ගහද්දි ඇත්තමයි මේ මමද ඉවසන් ඉන්නෙ කියල හිතෙනව අනන්තවත්...

ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හිත නන්නත්තාර උනාම මට හිතෙන්නෙම ඔයාට කතා කරල හිත නිදහස් කරගන්න... ඒත් මට වැරදෙනව හැමදාම... ඔයා කරන්නේ පෑරුණ තුවාලෙ මහ දරුණු විදියට තවත් පාරල දාන එක... ආයේ මුල ඉදන් මම තනියම හිත හදාගන්නවා... ඒ ඔයාගේ හැටි වෙන්න ඇති.. මේ මගේ හැටි වෙන්න ඇති...
මට තියෙන්නෙත් මහා මුරණ්ඩු හිතක්... මටවත් මේච්චල් නැති හිතක්... හැබැයි ඔයා ළග එක තත්පරෙකින් කීකරුයි ඒ හිත... නමක් නැති අරුතක් නැති එක්තරා බැඳීමක හිර වෙලා අපි දෙන්නම... ඔයයි මමයි හැරෙන්න වෙන කවුද දන්නේ නේද අපි ගැන ඉතින්..



මතක නටඹුන් අතර වැතිරී 
නිල් අහස දෙස නෙත් යොමා 
සිටින විට සිත මට හොරෙන් 
ඉගිල යයි මා හැර දමා...

තැනින් තැන ඉගිලී ගිහින් 
කිසිම ගොදුරක් නොම ලබා 
නැවත මා වෙත පැමිණි මා සිත 
තැවෙයි වෙහෙසට පත්වෙලා....

විඩාපත්වුණු සිත නිවී 
නෙත් අගින් කඳුළක් නැගී 
ඒ කඳුළු කම්මුල් දිගේ 
ඉතා හෙමිහිට ගලාගෙන විත් 
වියළිලා යනු මට දැනේ...
වියළිලා යනු මට දැනේ...

" You' ll never understand how much I love you and, I' ll never understand why "

Saturday, January 3, 2015

වෘත්තිමය පුස්තකාලයාධිපතිවරයෙකු වීමට ඔබටත් අවස්ථාවක්........



කාලෙකින් මුකුත් ලියන්නත් බැරි උනා... ලියන්න දේවල් නැතුව නෙමේ කම්මැලිකම වැඩි වෙලා තමයි ඉතිං.... :p සෙකන්ඩ් ඉයර් ලියල ඉවර නිසා ගෙදරට වෙලා කාලේ කන්නේ නැතුව රිසාල්ට්ස් අවුට් කරනකන් පබ්ලික් ලයිබ්‍රියක ට්‍රේනින් යන්න පටන් ගත්තා පඩිත් නැතුව..... මුලදි නම් ටිකක් අවුල් පඩිත් නැතුව වැඩ කරන එක ගැන... :( පහු වෙද්දි තමා තේරුනේ සල්ලි වලට ගන්න බැරි තරම් අත්දැකීම් ගොඩක් ට්‍රේනින් එකෙන් ලබාගන්න පුළුවන්  කියලා... ඩිග්‍රී ගත්තත් වැඩක් නෑ අත්දැකීම් නැත්තන් සිටිෆිකේට්ස් ගොඩ ගහන් වේලෙන්න තමා වෙන්නේ... ඒ නිසා ඉගෙන ගන්න ගමන් පොඩියට හරි අදාළ ක්‍ෂේත්‍රයට සම්බන්ධව පොඩියට හරි ජොබ් එකක් කරන්න අමතක කරන්න එපා... 

ඔන්න අද මං පොඩි විස්තරයක් දෙන්න හදන්නේ පුස්තකාලයාධිපති වෘත්තිය සම්බන්ධව... හුඟක් දෙනෙක් මගෙන් විස්තර අහපු නිසා හැමෝටම දැනගන්නත් එක්ක ලියන්න හිතුනා... පොඩි කාලේ ඉඳන් මං පොත් ගුල්ලියෙක්... පොත් වලට මාර ආදරෙයි... අන්න ඒ ආසාව තමා අද මාව මෙතනට ගෙනාවෙත්... ආසාවෙන් කරන දෙයක් කවදාවත් එපා වෙන්නේ නෑ... පුස්තකාල විද්‍යාව ඉගෙනගන්න ක්‍රම 2ක් තියෙනවා... (මං දන්න තරමට) එකක් තමා කැළණි කැම්පස් එකේ උපාධිය... අනික තමා ශ්‍රී ලංකා පුස්තකාල සංගමය විසින් පවත්වන ඩිප්ලෝමා පාඨමාලාව... මං කරන්නේ පුස්තකාල සංගමයේ පුස්තකාල හා විඥාපන  විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව... මේ දවස් වල පුස්තකාල සංගමය විසින් 2015 - Level 1 සඳහා බඳවාගැනීම් සිදුකරනවා...  අදාළ විස්තර මෙන්න බලාගන්නකෝ.... 


මේ පාඨමාලාවේ තියෙන ලොකුම වාසිය තමයි දුර බැහැර පළාත් වල අයට කිසිම අපහසුතාවයකින් තොරව තැපැල් මාර්ගිකව උනත් හදාරන්න පුළුවන්කම තියෙන එක... ජොබ් එකක් කරන ගමන් උනත් ලේසියෙන් කරන්න පුළුවන් සති අන්තයේ දවස් වල දේශන තියෙන හින්දා... තමන්ට පහසු විදියකට කැමති ක්‍රමයක් තෝරගන්න පුළුවන්..... 

දේශන ක්‍රමය ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ... තැපැල් මාර්ගික ක්‍රමය ස්ව අධ්‍යයනයක් වගේ... සංගමයෙන් ලියාපදිංචි තැපෑලෙන් ගෙදරට නෝට්ස් එවනවා නිශ්චිත කාල සටහනකට අනූව... කාල සටහන ඔයාලට කලින්ම දෙයි... අපිට කරන්න තියෙන්නේ නෝට්ස් කියවලා ඒ එක්ක තියෙන පැවරුම් කරලා අවසන් දිනයට කලින් සංගමයට තැපැල් කරන එක... 

 ටයිම් ටේබල් එකක්...
මං කරපු පැවරුම් ටිකක්...
පැවරුම් තමන්ට කැමති විදියට හදලා යවන්න පුළුවන්... පිළිවෙලට ප්‍රියමනාප විදියට හදලා යවනවා නම් ගොඩාක් හොඳයි... මොකද පැවරුම් වල ලකුණු විභාගෙටත් එකතු කරනවා... මාස 3කට සැරයක් සති අන්තයේ දවස් දෙකක් වර්ක්ෂොප්ස් තියනවා.... එදාට පැවරුම් වල අඩුපාඩු ගැටළු ලෙක්චර්ස්ලා එක්ක සාකච්ඡා කරගන්න පුළුවන්... පුස්තකාල සංගමය උපරිමයෙන් උදව් කරන්න සුදානම් අපිට... මේ අවුරුදු දෙක පුරාම මම අත්දැකීමෙන් මේවා කියන්නේ.... පළවෙනි අවුරුද්ද සම්පූර්ණ කරාම සාමාන්‍ය පුස්තකාලයක සහායක වගේ තනතුරක් ගන්න පුළුවන් ගොඩක් දුරට... ජොබ් එක කරන ගමන් ඉතිරි අවුරුදු 2 කම්ප්ලීට් කරගන්නත් පුළුවන්... පුස්තකාලයාධිපති කෙනෙක් වෙන එකත් හිතන තරම් ලේසි නෑ හැබැයි... සිංහල වගේම ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් දැනගන්න එකත්, මනා පරිගණක තාක්ෂණ දැනුමක්, නිරන්තර දැනුම ගවේශණය අත්‍යවශ්‍යම දෙයක්.... ඒවගේම අදාළ ක්‍ෂේත්‍රයට සම්බන්ධව පළපුරුද්දත්.... අන්න ඒ නිසාම මං මුලින් කිව්වා වගේ පොඩියට හරි කමක් නෑ අත්දැකීම් ලබාගන්න එක වටිනවා....

තව දෙයක් තමයි, ගොඩක් අය හිතන් ඉන්නේ පුස්තකාලයාධිපති කෙනෙක් කියන්නේ නිකන් පොත් ගොඩක් අස්සේ පොත් කියව කියව ඉන්න කෙනෙක් කියලා... ඇත්තට ඒක සම්පූර්ණයෙන්ම වැරදියි... ගුරු වෘත්තීන්, වෛද්‍ය වෘත්තීන් වගේම පුස්කාලයාධිපති වෘත්තියත් දැන් ගෞරවනීය වැදගත් වගකීම් සහගත වෘත්තියක්... කෙටියෙන්ම කිව්වොත් පුස්තකාලයාධිපතිවරයෙක් කියන්නේ කළමණාකරුවෙක් වගේ..... පුස්තකාල සම්පත් එකතුව ආරක්ෂා කරමින්, සේවක මණ්ඩලය මෙහෙයවමින්, යහපත් පාඨක සේවාවක් සපයමින් පුස්තකාලයාධිපතිවරයෙක් වැදගත් කාර්යභාරයක් ඉටු කළ යුතුයි.... අද නවීන තාක්ෂණයත් එක්ක පුස්තකාල ක්‍ෂේත්‍රය ගොඩාක් දියුණු වෙලා.... මමත් පුදුම උනා මේ තරමට දියුණුද කියලත්... අවංකවම මං සතුටු වෙනවා මං තෝරගත්තු වෘත්තිය ගැන... ඉතිං මං යන මඟ අනුගමනය කරන්න කැමති අය ඉන්නවා නම් අන්න එයාලට පොඩි හැඳින්වීමක් වෙයි මේ විස්තර.... :)

සුබ නව වසරක් වේවා...!!!
ජය :)

Saturday, November 8, 2014

මම මවාගනිමි ඔබෙ සිනා සපිරි රුව.... හදේ කොනක රඟ දෙන්න ඔහේ....


සුදුවෝ...... මගේ වස්තු කැටේ...
හොඳින් ඉන්නෝද ඔයා...
ඉස්සර හිටපු හිතුවක්කාර කොල්ලමද තාමත්
නැත්තම් ඩින්ගිත්තක් වත් වෙනස් වෙලාද ආහ්....
කෝම උන්නත් ඉතින් තාමත්
මගේ පණ ටිකනේ ඔයා...
කේන්ති ගිහින් කෑ ගහල මූණ රතු කරගත්තට
කතා නොකර ආඩම්බරෙන් හිටියට
නපුරුම විදියට හැසිරුනාට
ඔය අහිංසක හිත මං අඳුරන්නේ නැත්තේ නෑ රන්...
ඔයා වත් නොදන්න තරමට මම ඔයාව අඳුරනවා හොඳට
නැහැයි කියන්නේ කෝමද ආහ්....
ඉස්සර වගේ ළඟින් නොහිටියත්
මගේ හැම සිතුවිල්ලකම ඔයා ඉද්දී
මට තනියක් දැනෙන්නෙත් නෑ...
ඒ තරමට හරි අපූරු සුවයක් ඔයා...
ආදරණීයම ආදරේක උරුමයක් ලබන්න
මමත් පින් කරලා තියෙන හැඩයි...
මම තවදුරටත් මට අයිති නෑ කියලා
මතක් කරලා දුන්නෙත් ඔයාමයි...
ඉතින් කෝමද සුදුවෝ ඔයාගෙම නොවී ඉන්නේ මං..... <3

Sunday, October 26, 2014

එකම අහසක් යට සිටියත්.... දෙතැනක හිඳ සුසුම් හෙළන අපි..... මායාවක්දෝ මේ ආදරේ...


ෆොටෝ එකකින් දහසක් දේවල් කියාපාන්න පුලුවන්... එක්තරා කලාත්මක සන්නිවේදනයක් ඡායාරූපකරණය කියන්නේ... අපි ජීවිතේදී ඕන තරම් ෆොටෝස් දැකල ඇති... සමහරක් ඒවා හිතටම වැදිලත් ඇති... දුක, සතුට, සන්වේදී බව, කලකිරීම, පුදුමය, කෝපය, හාස්‍ය  මේ හැගීම් අනන්තවත් පහළ වෙලා ඇති... ඒවා තමන්ගේ ජීවිතේ එක්ක සංසන්දනය කරලා හිතලා ඇති... හා නැද්ද මම අහන්නේ... ? :D

 මම මෙතෙක් දැකපු මගේ හැම සිතුවිල්ලක්ම මුසු වුණු ෆොටෝවක් තමා මේ... ඇත්තටම මේක ඉස්සරෝම කියලා දැක්කේ එයාගේ ෆේස් බුක් කවර් ෆොටෝ එක විදියට දාලා තියෙද්දී... මට මතකයි මම සෑහෙන්න වෙලාවක් මේ ෆොටෝව දිහා බලාගෙන හිටියා... පුදුමෙනුත් පුදුම හිතුනා... එයාට හිතෙන දේමයි මටත් හිතෙන්නේ කියලා තේරුනා... ඒක මහ අමුතුම ෆීලින් එකක්... නෝ වර්ඩ්ස්.. 

මට හිතට දැනුන දේවල් ඒ විදියටම ටයිප් උනේ නෑ... :( අසාර්ථක උත්සහයක්...  නිකන් විකාර පෝස්ටුවක් වගේ මේක... කියවන කස්ටිය පව් ඉතින්.... :p

Saturday, October 18, 2014

සිහින ලොවක් දුටුවා මතකයි... සිහින ලොවින් ආවා මතකයි...




මගේ ජීවිතේට මහ ගොඩක් කියලා හීන තිබ්බේ නෑ බබා... 
ලොකු ලොකු ආසාවල් තිබ්බෙත් නෑ... 
නිදහසේ සැහැල්ලුවෙන් හිටියේ මම... 
ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ... 
ඔයා මගේ ජීවිතේ ලස්සන, අහිංසක හීනයක් උනා... 
ඒ හීනෙත් එක්ක මම ජීවත් උනා... 
හැම මොහොතකම, හැම තත්පරයකම ඔයා මගේ හිතේ උන්නා... 
ඒත්... 
මගෙමයි කියලා තිබ්බ ඒ අහිංසක හීනෙ බිඳලා දාන්න තරම් ඔයා නපුරු උනේ ඇයි රන්... 
දුක හිතුනේ නැද්ද චුට්ටක් වත් මං ගැන... 
කියන්න මට... 
උන දේවල් මට තාම හීනයක් වගේ... 
අදටත් මම ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න බයයි ඒ හැමදේම හීනයක් වෙලාම යයි කියලා... :(

සිහින ලොවක් දුටුවා මතකයි...
සිහින ලොවින් ආවා මතකයි...


Wednesday, October 8, 2014

කෙසෙල් කොලේ බත් පතේ සුවඳට.... සිහිවෙනවා නුඹව තාත්තේ...


ඉස්සරෝම දවස් වල... පුංචි උනත් අම්මත් එක්ක හරි හරියට උයන්න ආසයි මං... ( දැන් නම් පට්ට කම්මැලියෙක් :p ) ඒ වගේම කෙසෙල් කොලේ ඔතපු බත් කන්න හරි ආසයි... සෙනසුරාදා ඉරිදා දවස් වලට (ඉස්කෝලේ යන නිසා ගෙදර ඉන්නේ සති අන්තේ විතරනේ) අම්මයි මමයි එකතු වෙලා උයනවා... මමයි මේනු එක තෝරන්නේ... මට තනියම උයන්න පුළුවන් උනාට අම්මා මාව කුස්සියේ තනියම තියන්නේ නෑ... වෙන මොකක් නිසාවත් නෙමේ... අත පය පුච්චගනී කියලා බයට තමා... හෙහෙ... 

ඔන්න ඉතින් මම තෝරාගන්නේ හරිම සරල මේනු එකක්... හාල්මැස්සෝ බැදුමක් හදලා, පරිප්පු වේලෙන්න උයලා, පොළොස් මාළුවක් උයලා, ගොටුකොල සම්බෝලයක් තමයි මගේ තේරීම... එක එක දවස් වලට වෙනස් වෙනවා ඉතින්... උයලා ඉවර වෙලා උණු උණුවේ කෙසෙල් කොළේක බත් මුලක් ඔතලා තියලා නාල රෙදි සෝදලා එහෙම ඇවිත් දවල්ට ඒ බත් එක කනවා... හම්මේ පළාතම සුවඳයි බත් එක දිග අරිද්දි... මතක් වෙද්දී මේ දැනුත් කටට කෙළ උනනවා... :p ඇත්තම කිව්වොත් කෙසෙල් කොලේ ඔතලා තිබ්බම කෑම එකේ රස දෙගුණ වෙනවා... කාලා තියෙන අයම දන්නවා ඇතිනේ ඒක.

හැබැයි අපේ ගෙදර මම විතරයි එහෙම කන්නේ... අම්මයි තාත්තයි හිනා වෙනවා මේ කෙල්ලට පිස්සු කියලා.. පිස්සු උනාට මොකෝ එහෙම කද්දී තියෙන රස දන්නේ මමනේ.. ගෙදර අයට පෙන්න පෙන්න කෑවා මං හෙන ආඩම්බරෙකින්... :v මං දන්නවා මට හිනා උනාට කස්ටියටත් ආසයි කියලා... කොහෙද ලොකු සින් දදා ඉන්නවනේ... ඔහොම ටික දවසක් යද්දී තාත්තටත් මගේ ලෙඩේම බෝ උනා... දවසක් මම බත් මුල බදිද්දී තාත්තා ඇවිත් කිව්වා මටත් කෙසෙල් කොළේ බත් කන්න ඕනේ කියලා... ඉස්සරම මට විතරක් බෙදපු බත් මුල දැන් බත් මුල් දෙකක් උනා... තාත්තත් මන් වගේම නාල එහෙම ඇවිත් රස කර කර කද්දී මට ඇස් වලටත් කඳුළු ඉනුවා ලාවට වගේ.. තාත්තා වගේමනේ දුවත්... දුව වගේමනේ තාත්තත්.... 

දැන් නම් මගේ ඒ පුරුද්ද එහෙම් පිටින්ම නැති වෙලා ගිහින්... තාත්තා නැති උනාම මගේ ජිවිතේ සෑහෙන්න වෙනස් උනා කිව්වොත් හරි... ඒ හැම මතකයකම දැන් මාව අඬවනවා... අහම්බෙන් හරි කෙසෙල් කොලේ බත් එකක් දැක්කත් තාත්තව මතක් වෙනවමයි... ජිවිතේ අපි හැමෝටම මතක සටහන් ගොඩාරියක් තියෙනවා... ඒ හැම මතක සටහනක් පිටුපසම සැඟවුණු කතාවකුත් තියෙනවා කියන්නේ ඇත්තනේ...


මේ කතාව කියවපු එකේ නිවාඩු වෙලාවක පොඩි අත්හදා බැලීමක් කරලා බලන්නකෝ ඉතින්... ඔයාලට රස කර කර කෙසෙල් කොලේක බත් කටක් කන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මමත්... :p