අහස සේ නුඹ අනන්තයි....

Saturday, November 8, 2014

මම මවාගනිමි ඔබෙ සිනා සපිරි රුව.... හදේ කොනක රඟ දෙන්න ඔහේ....


සුදුවෝ...... මගේ වස්තු කැටේ...
හොඳින් ඉන්නෝද ඔයා...
ඉස්සර හිටපු හිතුවක්කාර කොල්ලමද තාමත්
නැත්තම් ඩින්ගිත්තක් වත් වෙනස් වෙලාද ආහ්....
කෝම උන්නත් ඉතින් තාමත්
මගේ පණ ටිකනේ ඔයා...
කේන්ති ගිහින් කෑ ගහල මූණ රතු කරගත්තට
කතා නොකර ආඩම්බරෙන් හිටියට
නපුරුම විදියට හැසිරුනාට
ඔය අහිංසක හිත මං අඳුරන්නේ නැත්තේ නෑ රන්...
ඔයා වත් නොදන්න තරමට මම ඔයාව අඳුරනවා හොඳට
නැහැයි කියන්නේ කෝමද ආහ්....
ඉස්සර වගේ ළඟින් නොහිටියත්
මගේ හැම සිතුවිල්ලකම ඔයා ඉද්දී
මට තනියක් දැනෙන්නෙත් නෑ...
ඒ තරමට හරි අපූරු සුවයක් ඔයා...
ආදරණීයම ආදරේක උරුමයක් ලබන්න
මමත් පින් කරලා තියෙන හැඩයි...
මම තවදුරටත් මට අයිති නෑ කියලා
මතක් කරලා දුන්නෙත් ඔයාමයි...
ඉතින් කෝමද සුදුවෝ ඔයාගෙම නොවී ඉන්නේ මං..... <3

Sunday, October 26, 2014

එකම අහසක් යට සිටියත්.... දෙතැනක හිඳ සුසුම් හෙළන අපි..... මායාවක්දෝ මේ ආදරේ...


ෆොටෝ එකකින් දහසක් දේවල් කියාපාන්න පුලුවන්... එක්තරා කලාත්මක සන්නිවේදනයක් ඡායාරූපකරණය කියන්නේ... අපි ජීවිතේදී ඕන තරම් ෆොටෝස් දැකල ඇති... සමහරක් ඒවා හිතටම වැදිලත් ඇති... දුක, සතුට, සන්වේදී බව, කලකිරීම, පුදුමය, කෝපය, හාස්‍ය  මේ හැගීම් අනන්තවත් පහළ වෙලා ඇති... ඒවා තමන්ගේ ජීවිතේ එක්ක සංසන්දනය කරලා හිතලා ඇති... හා නැද්ද මම අහන්නේ... ? :D

 මම මෙතෙක් දැකපු මගේ හැම සිතුවිල්ලක්ම මුසු වුණු ෆොටෝවක් තමා මේ... ඇත්තටම මේක ඉස්සරෝම කියලා දැක්කේ එයාගේ ෆේස් බුක් කවර් ෆොටෝ එක විදියට දාලා තියෙද්දී... මට මතකයි මම සෑහෙන්න වෙලාවක් මේ ෆොටෝව දිහා බලාගෙන හිටියා... පුදුමෙනුත් පුදුම හිතුනා... එයාට හිතෙන දේමයි මටත් හිතෙන්නේ කියලා තේරුනා... ඒක මහ අමුතුම ෆීලින් එකක්... නෝ වර්ඩ්ස්.. 

මට හිතට දැනුන දේවල් ඒ විදියටම ටයිප් උනේ නෑ... :( අසාර්ථක උත්සහයක්...  නිකන් විකාර පෝස්ටුවක් වගේ මේක... කියවන කස්ටිය පව් ඉතින්.... :p

Saturday, October 18, 2014

සිහින ලොවක් දුටුවා මතකයි... සිහින ලොවින් ආවා මතකයි...




මගේ ජීවිතේට මහ ගොඩක් කියලා හීන තිබ්බේ නෑ බබා... 
ලොකු ලොකු ආසාවල් තිබ්බෙත් නෑ... 
නිදහසේ සැහැල්ලුවෙන් හිටියේ මම... 
ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ... 
ඔයා මගේ ජීවිතේ ලස්සන, අහිංසක හීනයක් උනා... 
ඒ හීනෙත් එක්ක මම ජීවත් උනා... 
හැම මොහොතකම, හැම තත්පරයකම ඔයා මගේ හිතේ උන්නා... 
ඒත්... 
මගෙමයි කියලා තිබ්බ ඒ අහිංසක හීනෙ බිඳලා දාන්න තරම් ඔයා නපුරු උනේ ඇයි රන්... 
දුක හිතුනේ නැද්ද චුට්ටක් වත් මං ගැන... 
කියන්න මට... 
උන දේවල් මට තාම හීනයක් වගේ... 
අදටත් මම ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න බයයි ඒ හැමදේම හීනයක් වෙලාම යයි කියලා... :(

සිහින ලොවක් දුටුවා මතකයි...
සිහින ලොවින් ආවා මතකයි...


Wednesday, October 8, 2014

කෙසෙල් කොලේ බත් පතේ සුවඳට.... සිහිවෙනවා නුඹව තාත්තේ...


ඉස්සරෝම දවස් වල... පුංචි උනත් අම්මත් එක්ක හරි හරියට උයන්න ආසයි මං... ( දැන් නම් පට්ට කම්මැලියෙක් :p ) ඒ වගේම කෙසෙල් කොලේ ඔතපු බත් කන්න හරි ආසයි... සෙනසුරාදා ඉරිදා දවස් වලට (ඉස්කෝලේ යන නිසා ගෙදර ඉන්නේ සති අන්තේ විතරනේ) අම්මයි මමයි එකතු වෙලා උයනවා... මමයි මේනු එක තෝරන්නේ... මට තනියම උයන්න පුළුවන් උනාට අම්මා මාව කුස්සියේ තනියම තියන්නේ නෑ... වෙන මොකක් නිසාවත් නෙමේ... අත පය පුච්චගනී කියලා බයට තමා... හෙහෙ... 

ඔන්න ඉතින් මම තෝරාගන්නේ හරිම සරල මේනු එකක්... හාල්මැස්සෝ බැදුමක් හදලා, පරිප්පු වේලෙන්න උයලා, පොළොස් මාළුවක් උයලා, ගොටුකොල සම්බෝලයක් තමයි මගේ තේරීම... එක එක දවස් වලට වෙනස් වෙනවා ඉතින්... උයලා ඉවර වෙලා උණු උණුවේ කෙසෙල් කොළේක බත් මුලක් ඔතලා තියලා නාල රෙදි සෝදලා එහෙම ඇවිත් දවල්ට ඒ බත් එක කනවා... හම්මේ පළාතම සුවඳයි බත් එක දිග අරිද්දි... මතක් වෙද්දී මේ දැනුත් කටට කෙළ උනනවා... :p ඇත්තම කිව්වොත් කෙසෙල් කොලේ ඔතලා තිබ්බම කෑම එකේ රස දෙගුණ වෙනවා... කාලා තියෙන අයම දන්නවා ඇතිනේ ඒක.

හැබැයි අපේ ගෙදර මම විතරයි එහෙම කන්නේ... අම්මයි තාත්තයි හිනා වෙනවා මේ කෙල්ලට පිස්සු කියලා.. පිස්සු උනාට මොකෝ එහෙම කද්දී තියෙන රස දන්නේ මමනේ.. ගෙදර අයට පෙන්න පෙන්න කෑවා මං හෙන ආඩම්බරෙකින්... :v මං දන්නවා මට හිනා උනාට කස්ටියටත් ආසයි කියලා... කොහෙද ලොකු සින් දදා ඉන්නවනේ... ඔහොම ටික දවසක් යද්දී තාත්තටත් මගේ ලෙඩේම බෝ උනා... දවසක් මම බත් මුල බදිද්දී තාත්තා ඇවිත් කිව්වා මටත් කෙසෙල් කොළේ බත් කන්න ඕනේ කියලා... ඉස්සරම මට විතරක් බෙදපු බත් මුල දැන් බත් මුල් දෙකක් උනා... තාත්තත් මන් වගේම නාල එහෙම ඇවිත් රස කර කර කද්දී මට ඇස් වලටත් කඳුළු ඉනුවා ලාවට වගේ.. තාත්තා වගේමනේ දුවත්... දුව වගේමනේ තාත්තත්.... 

දැන් නම් මගේ ඒ පුරුද්ද එහෙම් පිටින්ම නැති වෙලා ගිහින්... තාත්තා නැති උනාම මගේ ජිවිතේ සෑහෙන්න වෙනස් උනා කිව්වොත් හරි... ඒ හැම මතකයකම දැන් මාව අඬවනවා... අහම්බෙන් හරි කෙසෙල් කොලේ බත් එකක් දැක්කත් තාත්තව මතක් වෙනවමයි... ජිවිතේ අපි හැමෝටම මතක සටහන් ගොඩාරියක් තියෙනවා... ඒ හැම මතක සටහනක් පිටුපසම සැඟවුණු කතාවකුත් තියෙනවා කියන්නේ ඇත්තනේ...


මේ කතාව කියවපු එකේ නිවාඩු වෙලාවක පොඩි අත්හදා බැලීමක් කරලා බලන්නකෝ ඉතින්... ඔයාලට රස කර කර කෙසෙල් කොලේක බත් කටක් කන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මමත්... :p 

Friday, September 19, 2014

පුoචි බිම් මලක් වෙමි මම..... තනිව හිනැහෙන....



තෙතබරිතව දිරාගිය මියයන්නට අර අදින 
දිරාපත් දැවැන්ත වෘක්ෂයක් පාමුල පිපිණු 
සුවඳක් නැති ලස්සනක් නැති හුදෙකලා 
පුoචි බිම් මලක් වෙමි මම තනිව හිනැහෙන..... 


සිව්දිග අරණේ හරිත පැහැයෙන් බැබළෙන  
අතු පතර විදහාගත් සද්ධන්ත රුක් පෙළ 
කළුවරයි හාත්පසම සීතලයි දසතම 
ඉඳහිට වැටෙන හිරු කිරණක් හැරුණු කොට.... 


සීතලෙන් පින්නෙන් පෙගුණු ගත සිත ඉඳහිට 
නැවුම් හිරු කිරණක පහසින් නැහැවෙන විට 
වසාගෙන දෙනෙත් විදහාගෙන දෑත් හුස්මක් ගෙන දිගු 
විඳිමි මා ලද චමත්කාරජනක දිවියේ අසිරිය.... 


නිසොල්මන්ව හිදින විට සුපුරුදු හුදෙකලාවේ 
පෙනෙන නොපෙනෙන දුරින් යයි කුහුඹුවන් රැළක් 
කඩිසරව දුවයි එඩිතර සිතින් පුoචි වුවද ගතින් 
මටත් සිතේ යන්නට ඇත්නම් ඔවුන් පසුපස්සේ..... 


මෙයයි මගේ ජීවිතය මෙයයි මගේ ලෝකයම 
සොබාදහම් මාතාවගේ තුරුලේ හිදින 
දහවල ගෙවී රැය උදා වී දවස ගෙවී යයි 
මම තවම පුoචි බිම්මලක් තනිව හිනැහෙන....

Wednesday, September 10, 2014

භාවනාවට බාධා කරන අමනුෂ්‍යයෝ....


හොල්මන්, අවතාර, භූතයෝ, ප්‍රේතයෝ කියන්නෙ එක්තරා ජීවීන් කොටසක්. වෙනසකට තියෙන්නෙ අපේ ශරීර ගොඩක් භෞතිකයි. ඒ ජීවීන්ගේ අංශුමය පදාර්ථ වලින් සෑදුන විනිවිද යා හැකි ශරීරයක් තියෙන්නෙ. අනිත් එක තමයි ඔවුන්ගෙ ආවර්ථය මිනිස්සුන්ට වඩා හුගක් වැඩී ඒ නිසා අපිට ඔවුන්ව පේන්නෙ නෑ. හැම තැනම ඒ ජීවීන් ඉන්නවා. උදාහරනයක් විදියට ඉතා වේගයෙන් කැරකෙන විදුලිපංකාවක් ගැන හිතන්න. ඒ පෙති වල වේගයට අපිට පෙති නොපෙනී පෙති තුලින් එහා පැත්ත පැහැදිලිව පේනවා. හරියට පෙති නෑ වගේ. මේ ජීවීනුත් එහෙමයි ආවර්ථය වැඩි නිසා අපිට පේන්නෙ නෑ. ඒත් ඒ ජීවීන්ව පේන සත්තු ඉන්නවා. හිත හොදට දියුණු කරගත්ත අයටත් පේනවා. ඒ ජීවීන්ගේ උවමනවටත් මිනිසුන්ට පේන්න සිටිය හැකියි. අපි නොදන්න දේ මේ ලෝකේ ගොඩයි. මට අත්දැකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන්... ඉතින් මට හිතුනා ඒ ගැන යමක් ලියන්න ඕනේ කියලා ඔයාලට දැනගන්නත් එක්ක..

මීට අවුරුද්දකට කලින් මම භාවනා ආරණ්‍යකට වෙලා මාස 3ක් විතර හිටියා භාවනානුයෝගියෙක් විදියට... බාහිර සමාජයෙන් ඈත් උන නිස්කලංක වනගත ආරණ්‍යක... අධ්‍යාත්මික වශයෙන් හිත දියුණු කරගත්තු මෙහෙණින් වහන්සේ නමක් තමයි ආරණ්‍ය භාරව ඉන්නේ... අපිට කමටහන් දුන්නේ උන්වහන්සේ... මම ටික ටික භාවනාවේ ඉහලට යනකොට.. ඒ කියන්නේ හිත දියුණු වෙනකොට, හිත දමනය වෙනකොට නොයෙක් ප්‍රශ්න එන්න පටන් ගත්තා... භාවනා කරද්දී නහයට අමුතුම ගඳක් එන්න පටන් ගත්තා... ඒක හරියට මනුස්සයෙක්ගේ පුස්ඹක් වගේ... දරාගන්න බැරි තරම්... හරියට මන් ළඟම කවුරු හරි ඉන්නවා වගේ.. කියන්න තේරෙන්නේ නෑ... මම අනිත් අයගෙන් ඇහුවා එයාලට දැනුනද කියලා ගඳක්... එයාලට නැහැලු.. ඒ කියන්නේ මට විතරමයි... 

මුලදී මේක මන් ගනන් ගත්තේ නෑ... සුපුරුදු විදියටම භාවනාව කරගෙන ගියා... වැඩේ කියන්නේ හවස් වේගෙන එද්දී මට හැමදාම ඒ ගඳ දැනෙන්න ගන්නවා... මෙහෙණින් වහන්සේ ඒ දවස් වල විදේශගත වෙලා හිටියේ... උපදෙස් ගන්න විදියක් තිබුනේ නෑ ඉතින්... දැන් තත්වය එන්න එන්නම දරුණු වෙනවා... ඔලුවේ කැක්කුමත් ආවා එකපාරටම... මට තේරුනා මෙතන මොකක් හරි බලපෑමක් තියෙනවා කියලා... ආරණ්‍යයේ භික්ෂුණින් වහන්සේ නමක් මාව බෝධිය ලඟට එක්ක ගිහින් බුදුන් වැඳලා පින් බලාපොරොත්තුවෙන් ඉන්න ඔය ඇත්තෝ මේ පින් අනුමෝදන් වෙලා මේ දරුවගෙන් අයින් වෙන්න කියලා පින් අනුමෝදන් කළා... පහුවෙනිදා ඔලුව උස්සගන්න බෑ උණයි ඔලුවේ කැක්කුමයි හොඳටෝම... මෙහෙණින් වහන්සේට කෝල් කරලා විස්තරේ කිව්වම පිරිත් කියන්න කිව්වා මගේ වටේ ඉඳන්.. පිරිත් කියලා ඉවර උනා විතරයි අමාරු ඔක්කොම අතුරුදහන්... ඇත්තටම මේ වගේ පුදුමාකාර සිද්ධීන් වලට මුහුණ දෙන්න උනා මට.... 

ආරණ්‍යයේ බෝධිය ළඟ මම
භාවනා කරන ආසනය...

දවස් 4,5කට පස්සේ මෙහෙණින් වහන්සේ ලංකාවට ආවම කිව්වා භාවනානුයෝගීන්ට ඔහොම බලපෑම් එනවා අමනුෂ්‍ය ආත්ම වලින්... කරණිය මෙතන සුත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කලේ ඒ නිසා තමයි කිව්වා.. ආරණ්‍යයේ අනෙකුත් භාවනානුයෝගීන්ට දානයක් දීලා අපි පින් අනුමෝදන් කරලා බලමු කිව්වා... දැන් අම්මයි මමයි දානේ දුන්නා... ඊට පස්සේ ටික දවසක් යනකන් වෙනසක් නැතුව ගෙවුනා... ආයෙත් ප්‍රශ්න ආවා... භාවනා කරන්න බැරි වෙන තැනට කරදර ආවා... ඒ හින්දම මට එපා උනත් එක්ක... මේ වෙන දේවල් ගැන අහලා අම්මත් බය වෙලා හිටියේ හොඳටම... කැම්පස් එකේ එක්සෑම් ලං උන නිසා ආයේ ගෙදර යන්න කාලේ ආවා.. භාවනා නොකර ඉද්දි අවුලක් නෑ... භාවනා කරගෙන යද්දී,, හිත දියුණු වෙද්දී අමනුෂ්‍යයෝ කරදර කරන්න පටන් ගන්නවා... ඒක හින්දා තමා කියන්නේ ගුරුවරයෙක්ගේ මග පෙන්වීමක් නැතුව භාවනාව ගැඹුරින් කරන්න එපා කියලා... ඒ වගේම මෙවැනි අවස්ථා වලදී බය නොවී බුදු ගුණ කෙරෙහි සම්පුර්ණ විශ්වාසයෙන් ඉන්න එකත් ගොඩක් වැදගත්.. 

ගෙදර ආවට පස්සේ මේ කිසි දෙයක් නැහැ... සුපුරුදු විදියට ගෙවිලා ගියා... කාලයත් එක්ක දිනපතා භාවනා කරන පුරුද්ද අඩු වේගෙන ගියා... දැන් ඉඳලා හිටලා හිතුනම භාවනා කරනවා ඉතින්... කොහොම උනත් ජීවිතේට ලැබුන ලොකුම අත්දැකීමක් මේක නම්... 

බුදු ගුණ අනන්තයි...!!!

Monday, September 8, 2014

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට... පසු වදනක් කුමටද තව නුඹගෙන්....



මට ඔයාව ගොඩක් මතක් වෙනවා බබා...........
හැම මොහොතෙම මට ඔයාව මතක් වෙනවා............
මං තාමත් ඔයාට ආදරෙයි..........
මාව දාල යන්න තරම් ඔයාට මාව එපා උනේ ඇයි මගෙ මැණික.......???

මෙච්චර කාලෙකට පස්සෙද ඔයාට මේ වචන ටික කියන්න මතක් උනේ..  අන්තිම මොහොත වෙනකන් ඉවසලා බැරිම තැන මම හැමදේම අමතක කරලා දාන්න හිත හදාගත්තට පස්සෙද මේ වචන ටික කියන්න ඕන උනේ..  ම්ම්ම්ම්.... හේතු දාහක් කිය කිය ඔයා මාව ඈත් කරද්දී චූටි චූටි හේතු හොයාගෙන බැනුම් අහගෙන හරි මම ඔයත් එක්ක හිටියා මෙච්චර කල්... ඉවසීම රතු කට්ට පනිනකන්... දැන් හැමදේම ඉවරයි... හැමදේම...  මන් දවසක් ඔයාට කිව්වා... හැමදාම සමාව දීලම කවදා හරි දවසක මට ඔයාට සමාව දෙන්න බැරි දවසකුත් එයි කියලා... අද තමයි ඒ දවස... ඔයත් පව්... මමත් පව්...  ඉන්න තැනක සතුටින් ඉන්න ඔයා... එච්චරයි මට ඕනේ...