අහස සේ නුඹ අනන්තයි....

Tuesday, April 7, 2015

++++ 🌸 ආපසු යන්නට පාර කියනවද... සමුගන්නට කාලය ළඟම ඇවිදින්..... 🌸 ++++





* හලෝ සුදු මැණික... මොකෝ කරන්නේ බබා? 

** හායි හායි බන්ඩි කොටෝ... මං මේ හොල්මනක් බලනවා පැට්ටෝ...

* හෑ..? මොකක් බලනවා??? 

** හොල්මනක් අනේ හොල්මනක්...

* තේරෙන මඟුලක් කියනවකො ඕයි... 

** මම හොල්මන් චිත්‍රපටියක් බලමින් සිටිමි... ඔන්න සුද්ද සිංහලෙන්ම කිව්වා... දැන් හරිද බොස්... 

* අහ්... අදත් එනවකෝ මහ රෑට ඇහැරිලා අනේ අයියේ මට බයාආආආආයිඊඊඊ.... කියාගෙන... මං ෆෝන් එකත් සයිලන්ට් දාගෙන හොඳට දොයියනවා... හූ ඈ...

** අනේ යනෝ බන්ඩි කොටා... මං බය නෑ හරිද... හෑන්ඩ් ෆෝන් එක ආන්සවර් කළේ නැත්තම් ලෑන්ඩ්‍ ෆෝන් එකටත් ගන්නව මං.... බලමු කොහොමද දොයියන්නේ කියල... හූ හූ ඈ.... 

* ඒයි මේ මට බන්ඩි කොටා කියන්න එපා හරිද... මම කොටත් නෑ, මට බඩකුත් නෑ... අච්චර ලස්සන කියුට් නම් තියෙද්ද මේකම කියන්න ඕනද... අහා මතක් කරපු එකත් හොඳයි අනේ ලෑන්ඩ් එකේ ලයින් එකත් ගලවලම දොයියනවා අද....අනේඒඒඒ...  පව් බබා...

** බන්ඩි කොටා.. බන්ඩි කොටා... බන්ඩි කොටා... නම රෙජිස්ටර් කරල ඉවරයියීඊඊඊඊ....

* ඒකත් එහෙමද... මේ වැඩේ හරියන්නෑ... පෙරේදා ඔෆිස් එකට චෝයි කෙල්ලෙක් ආව... නිකන් ප්‍රීති සින්ටා වගේ... ට්‍රයි එකක් වත් දාලා බලන්න ඕන... එයා නම් මට බන්ඩි කොටා කියන එකක් නෑ...

** දුප් ගෙම්බා.... තරහයි ඈ... 

* ඈ නංගී ඔය පැත්තේ ගෙම්බෝ පන්නන්නේ දුප් කියලද?? මාරයිනේ... අපේ පැත්තේ නම් දුප් ගගා පන්නන්නේ වෙන ජාතියක්නේ... 

** හම්ම්ම්ම්ම්.....

* ඉතිං ඉතිං ෆිල්ම් එක ඉවරද....

** හම්ම්ම්ම්ම්.....

* මොකෝ බකුසු ටෝක්ස් ඒ පාර.... 

** අයි..යේ... ඉහ්.. ඉහ්... ඉහ්... 

* නංගි බබා ඇයි මේ... බයද... මං කිව්වනේ තේරෙන සිංහලෙන් බැරි වැඩ කරන්න එපා කියල.. ලැප ඔෆ් කරල ඇඳට යන්න දැන්වත්...

** ලැප ඔෆ්... මං ෆිල්ම් එක බැලුවේ නෑ...

* එහෙනම්..?? ඇයි අඬන්නේ බබා..? මොකද උනේ මැණික... කියන්න මට...

** අයියට මාව එපා වෙලාද?

* මොකක්...?? විකාරද නංගී බබා... කවුද එහෙම කිව්වේ ඈහ්...?

** එහෙනම් අර කිව්වේ ප්‍රීති සින්ටා වගේ කෙල්ලෙක්ට  ට්‍රයි කරන්න ඕන කියල... ඉහ්.. ඉහ්...

* හැක හැක හැක.... හයියෝ මගේ බඩ... ඔච්චර හිනස්සවන්න එපා ළමයෝ... හැක හැක හැක.... 

** හිනාවෙන්න දෙයක් කිව්වද මං දැන්? 

* අයියෝ මගේ සුදු මැණික ඔච්චර සීරියස් වෙන්න එපා රත්තරං... කට්ට කාල කාල ට්‍රයි කරල දාගත්තු මෙච්චර චෝයි පිච්ච මලක් ඉද්දී මට මොකටද ප්‍රීති සින්ටලා.... මං විහිළුවක් කලේ හොදේ... සොරි ඈ... දැන් හොඳ බබා වගේ කඳුළු පිහිදගෙන් හිනා වෙන්න...  

** හම්ම්ම්ම්ම්.... මං ආයේ බන්ඩි කොටා කියන්නේ නෑ අයියේ... ආයේ අරම විහිළු කරන්න එපා ඔයත්... හා ද... ප්‍රොමිස්...???

* හරි හරි ප්‍රොමිස්... හැබැයි අර පෙට් නේම් එක මට ඕනමයි.... 

** කෝකද??

* අර අරක...

** කෝකද කියනවකෝ මැට්ටෝ...

* බ න් ඩි  කො ටා... හෙහෙහෙ...

** මොකක්...??? මෙච්චර වෙලා කෑ ගැහුව නේද එහෙම කියන්න එපා කියලා..?? ඇත්තමයි සුදු අයියේ ඔයාට පිස්සු හොඳටම....

* ඔව් ඉතිං ඔයා තමයි මාව පිස්සෙක් කළේ ආදරෙන් පිස්සු වට්ටලා... හා නැද්ද මං අහන්නේ... ඇත්තමයි නංගි බබා දවසකට හරි ඔය ආදරෙන් පිරුණ කටහඬින් අරම ඇහුවේ නැත්තම් නිකන් කෑවේ නෑ වගේ තමයි දවසම චා...




රණ්ඩු කරගෙන යාලු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි
වෙන්වයන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි
තිස්සෙම කඳුළැල් දෑස රැඳුණේ ඉන්න බැරි තැනමයි ....

ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි
හංගගෙන මට ඉන්න බැහැ තව ඔබට ගැති සිත අසරණයි
කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි ඔබටයි
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි .......

Saturday, March 28, 2015

සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ... හිමි නොවෙනා බව දැනුනත්.. වෙන්වීමක් නොමැති....





අහඹු හමුවීමක්....? නැහැ... 
දෛවය...? මන්දා.... 
සංසාර පුරුද්දක්...? අහ් ඔව්... වෙන්න ඇති... 
හම්ම්ම්.... 
කොහොම හරි වේවා අපි හමුවුණා.... ඒ වගේම අපිට අපි අහිමි වුණා.... 
ඒත්... මගේ හිතට වදදෙනවා එකමෙක දෙයක්.... හැම මොහොතකම හැම තත්පරයකම....
අදටත් මම හිතනවා... හැමදේම පැත්තකට දාලා හිතනවා.... 


කවුද ඔයා...? 

ජීවිතේ පළවෙනි වතාවට මම කවුද කියල මං දැක්කා ඔයා තුළින්.... 


හැමදාම ඔෆිස් ගිහිල්ලත් මං කල්පනා කලේ ඔයත් එක්ක කතා කරපු ඒවා ගැන... සමහර වෙලාවට මට ඉබේම හිනා යනවා... ටිකකින් ආයෙත් මූඩ් එක වෙනස් කරගෙන හෙමීට වටපිට බැලුවේ කවුරු හරි දැක්කද දන්නෙත් නෑ කියල හිතිල... චතුරි අක්කා එහෙම දැක්ක නම් සෑහෙන්න දවසකට මාව අල්ලගෙන බයිට් කරයි ආයේ දෙක්ක නෑ.... පිස්සී... මම මටම කියාගෙන අයෙත් වැඩ පටන් ගන්නවා... පැයක් යන්න කලින් ආයෙත් ඔයා හිතේ හොල්මන් කරනවා... හරි දඟයෙක් මේ කොල්ලා නම් මට ඉන්න දෙන්නෙම නැති හැටි... හිත කියනවා... හිත මෙහෙම බොරුවට නෝක්කාඩු කිව්වට ආසයි කියල මං දන්නවා... ඉතිං කලින්ම ෂෝට් ලීව් දාලා මං ඔෆිස් එකෙන් පනිනවා... ගෙදර ආව රටක් රාජ්ජයක් දිනුවා වගේ... ‍එවෙලේම ෆෝන් එකට මැසේජ් එකක් ආවා ඔයා බිසී කියලා.... මදෑ ඇදගෙන නෑවා... එහෙම හිතාගෙන මූණත් එල්ලගෙන නවල් එකක් කියවන්න පටන් ගත්ත ඇඳට පැනලා.... පොත දිහා බලන් හිටියට අකුරු නිකන් පාවෙනවා වගේ... ඇස් පොත උඩ උනාට හිත ඔයා ළඟ.... මොන පොත් බැලිල්ලක්ද ඉතිං.... පොත පැත්තකට දාල නිදාගන්න හැදුවා... හයියෝ මොන වදයක්ද මේක.... ඇයි මං මෙච්චරටම එයා ගැන හිතන්නේ... තමුසෙට පිස්සුද... මං මටම කෑගැහුවා හිතින්....


"මං ඔයාගේ බ්ලොග් එක කියවනවා... ඒවා කොච්චර කියෙව්වත් ආපහු කියවන්න හිතෙනවා... ඒ කියවන හැම වෙලේම මට ඉරිසියා හිතෙනවා... ඒ ඉන්න තැන් වල අනේ මට ඉන්න තිබුනා නම් කියලා... මං ගැනත් ඒ වගේ දවසක කෙනෙක්ට ඉරිසියා හිතෙනවා නම් කියලා... මම අතරමං වෙලා වගේ මට දැන් දැනෙන්නේ... මොකක් කරන්නද මට තේරෙන්නෑ... හරිම හිස් බවක් මට දැනෙනවා... " දවසක් ඔෆිස් ඇරිලා හවස ගෙදර ඇවිත් බලද්දී මේ දිග මැසේජ් එක එවල තිබ්බා ඔයා... ඇත්තටම මට ඔයා ගැනම ලියන්න ඉරිසියා කරන්න ගොඩක් දේවල් තියෙනවා... ඔන්න දැන් ඔයා ආස කරපු විදියටම මං ඔයා ගැන ලියන්නත් පටන් ගත්තා.... 



දන්නවද අවංකවම  මම ගොඩාක්  කැමතියි ඔයාට... ඔය සරල කමට....  අවංක කමට... හැම දෙයක් ගැනම හොඳට තේරුම් අරන් ඉන්න එකට... ඔය ආදරණීය බවට මම ගොඩක් කැමතියි... ඊටත් වඩා කැමතියි මං ගැන හැම වෙලේම හොයල බලන එකට... ඔයා මහ පර්වතයක් වගේ, ඒ පාමුල මං චූටි මැටි ගුලියක් වගේ... හුළඟට පවා හෙලවෙන... ඔයාට තරම් හිත හයිය නැති උනත්, ඔයා මාත්තෙක්ක ඉද්දී මාත් හැමදාමත් Strong තමයි... මහ ගොඩක් කියල හීන, බලාපොරොත්තු නැති මගේ ජීවිතේට මේ ටිකත් මහමෙරක් තරම් වටිනවා...



එදා පන්සලේදී ඔයත් එක්ක පිච්ච මල් පූජා කරල, බෝධියේ වට හතක්ම ගිහින් වෙව්ලන ඇඟිලි වලින් වැඳගෙන ඇස් වල කඳුළු පුරෝගෙන මං එකම එක දෙයයි පැතුවේ.... මේ සැනසීම මට හැමදාටමත් දෙන්න දෙවියනේ කියලා... දෙවියන්ටත් අපි ගැන ඉරිසියා හිතිලද කොහෙද ඒ ඉල්ලීම නැත්තටම නැති කරල දැම්මනේ... දුකයි... මහ ගොඩක් දුකයි... මට නැති උනේ ඔයාව විතරක් නෙමෙයි... මාවත්... කාලෙකට පස්සේ ආසවෙන් ජීවිතේ ගැන හිතන්න පටන් ගත්තා විතරයි හැමදේම මොහොතකින් වෙනස්උන එක දරාගන්න හරි අමාරුයි.... ඔහොම දුක් වෙවී ඉද්දී...  "ජීවිතේ හැමදේම දිහා සුබවාදී විදියට බලන්න නංගී" ටාර් ගාල මතක් උනේ ඔයාගෙ ඒ වචන ටික... පුදුමයි... ඉබේම හිත සැටිස් උනා.... 

දයාබර Vish... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔයා සැබෑම වින්දනයක්... පුදුමාකාර සැනසීමක්... ඔයා ආසා කරපු විදියට මට ඔයාගේ ජීවිතේ වෙන්න බැරි උනත්... ඔයාගේ ආදරණීය වයිෆ් වෙන්න බැරි උනත්... මොන බැඳීමකින් හරි හැමදාමත් මං ඔයත් එක්ක ඉන්නවා... දුරින් හරි... ඒක මගේ පොරොන්දුවක්... 



අතීතය සිහිනයක් පමණයි 
හැබෑ සුවඳක් නෑ.. 
එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
මෙදා වියෝවක් නෑ... 

තැනූ මංදිර බිඳී වැ‍ටුනත් 
නෙතේ කඳුලක් නෑ .. 
සිනහ වෙන්නට වරම් නොලදත් 
සිතේ කිළුටක් නෑ..

අතීතය සිහිනයක් පමණයි....

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ....






Wednesday, March 11, 2015

මං කැමති නෑ අඬන්න.... ඒත්......


අකාලයේ මියැදුණු මගේ කුළුදුල් සිහිනය....




You are my everything…. Forever & ever…...

හිත පතුලෙම ගැඹුරුම තැනක නිදන් වෙලා තියෙන ආදරණීයම වචන ටිකක්....  මගේ ප්‍රථම ප්‍රේමය....  අකාලයේ මියැදුණු මගේ කුළුදුල් සිහිනය....  ඊයෙත් අදත් හෙටත් හැමදාටමත් ලස්සනම මතකයක් ඒක....


ඕන ප්‍රශ්නයක් උනාවේ... මට කමක් නෑ...
ඕන දෙයක් උනාවේ... මට කමක් නෑ....
ඒත්....
ඔයා ගියේ මං සම්පූර්ණයෙන්ම වැරදියි කියල හිතාගෙනනේ... 
අන්න ඒ දේට මං කැමති නෑ රන්....


මගේ හිත නිර්දෝෂි කරගෙන මේ වේදනාව ආත්ම හතක් හරි විඳින්න මං කැමතියි....


Sunday, March 8, 2015

එහෙන් මෙහෙන් අකුරු අමුණලා... ගලපාගත්තා මං පුංචි වදන් ටිකක්....





සුපුරුදු ජීවිතේ සුපුරුදු දවසක් ගෙවිලා යද්දී....... එකපාරටම අවුරුදු ගානක අතීතයේ දෙයක් මතක් වෙලා මුළු හිතම තිගැස්සිලා ගියේ අහම්බෙන් වගේ..... මං ලැප් එකේ වෙලාව බැලුවා... පාන්දර 1.54යි දැන්... මෙච්චර වෙලා නවල් එකක් බල බල හිටියේ... මට ඉතිං පොතක් පත්තරයක් අතට ගත්තොත් වෙලාවක් අවේලාවක් නෑ... පොත් දහස් ගණන් අස්සේ වැඩ කළත් ඔෆිස් එකේදි පොතක් කියවන්න ෆ්‍රී වෙලාවක් හම්බෙන්නේ එහෙමත් දවසක තමයි... ඒ හින්දා මං වැඩිපුරම කරන්නේ නිවාඩු දවස් වල නෙට් එකෙන් පොත් PDF ඩවුන්ලෝඩ් කරගෙන බලන එක... හැබැයි ඉතිං පොතක් කියවනවා වගේ ආතල් නෑ ලැප බදාගෙන PDF වලින් පොත් කියවන්න ගියාම... එකදිගට ලැප දිහා බලන් ඉදල ඇස් කකියන්නත් ගන්නව... මාත් අතාරින්නෑ හැබැයි.... ඔහොම ඉද්දී තමා දැන් පොත් කියවිල්ල පැත්තකට දාලා බ්ලොග් එකට ආවෙ කුරුටු ගාලා යන්න කියලා... ඉදල ඉදලම මමත් බ්ලොගෙකට එන්නෙ මේ වගේ මහ පාන්දරක තමා.... අම්ම දැක්කොත් ඉතිං සොරිම තමා නිදිමරනව කියල බඩ පිරෙන්න අහලන්න පුළුවන් කැත නැතුව.... ඉස්සර නම් පෝස්ටුවක් ලියලත් ඉවර වෙලා මාතෘකාවක් හෙව්වේ පබ්ලිෂ් කරන්න... දැන් ලියන්නත් මාතෘකාවක් ඕන මට...... ලොකු වෙනසක් තියෙනවා දැන් එදා හිටපු මමයි අද ඉන්න මමයි අතර.... හම්මේහ්...... ලොකු පිම්මක් ඒකත්.... 

හප්පේ මදැයි මං කුරුටු ගාල තියෙන තරමක්... මේවායේ අගක් මුලක් මටවත් හොයාගන්න බෑ දැන්.... :D හැබෑට මං මේ මොනාද ලියන්නේ.... මොනා කුරුටු ගෑවත් මේ අකුරක් පාසාම මගේ ජීවිතේ ගැන ලියවිලා තියෙනවා කියලා නම් කියතෑකි... කෙටියෙන් කිව්වොත් මේක තමා මගේ ඩයරිය... හැබැයි මේ ඩයරිය නම් ඕන කෙනෙකුට කියවන්න අවසරය තියෙනව... මතක ඇති කාලෙක ඉදන් මං සතුටටත් ලිව්වා... දුකටත් ලිව්වා.... හිතට එන හැම විකාරයක්ම ලියන්නත් පුරුදු වෙලා හිටියා කවි නිසදැස් වලින්... වැඩ වැඩි උනාම ඒ පුරුද්ද අඩු උනා.... මොන ප්‍රශ්නයක් ආවත් හැමදේම වෙන්නේ හොඳට කියලා ටාර් ගාලා හිත හදාගත්තෑකි දැන් නම්..... 

මං අත්දැකීමෙන් තේරුම් ගත්ත දෙයක් තමයි දුක් විඳින තරමට, වැටී වැටී නැගිටින තරමට හිත හයිය වෙනවා පුදුමාකාර විදියට.... පඩි සියයක් තියෙන පඩිපෙළක පඩි පනහක් අමාරුවෙන් හරි නැගලා නැගල, පඩිපෙළ මැදට ආවම හිතට ගැම්මක් එනවා මෙච්චර දුර ආව නම් මට ඉහළටම නගින්න බැරි නෑ කියල.... වෙලාවකට ප්‍රශ්න වල හිරවෙලා හිතින් වැටුනම අඬ අඬ ඉන්නවා කිසි දෙයක් හිතාගන්න බැරුව.... පස්සේ තමන්ටම තේරෙනවා අඬලා වැඩක් නෑ කියලා... කඳුළු පිහිදාගෙන නැගිටිනවා ආපහු..... ඇත්තටම ජීවිතේ මෙහෙමයි, මේ වගෙයි කියල පණ්ඩිතයා වගේ කියන්න තරම් එච්චර වයසකුත් නෑ තමා මට... ඒත් මේ අවුරුදු විසි ගානට මං අත්විඳපු දේවල් වලින් ජීවිත කාලෙටම මතක හිටින්න පාඩම් ඉගෙනගත්තා..... යකා අපි හිතන තරම් කළු නෑ අනේ..... :D

කාලයක් තිබ්බා මං බොළඳව හැසිරුන.... :p වෙලාවකට මටම හිනා යනවා ඒවා මතක් වෙද්දී... නොතේරෙන කාලේ අපි කරපු වැරදි තේරෙන කාලෙකට ආවමවත් නිවැරදි කරගන්න බැයිනම් වැඩක් නැනේ නේද..... මං මුලින් හිතුවේ මගේ ජීවිතේ මහා අවුල ජාලාවක් කියලා.... ප්‍රශ්න එනවා මිසක් ඒවට විසඳුමක් නෑ, කෙලවරක් නෑ කියලා..... දැන් මටම තේරෙනවා මමයි අවුල් ජාලාවක් කරගෙන ඉදල තියෙන්නේ කියලා.... :D ඉතිං අමාරුවෙන් හරි වෙනස් වෙලා පිළිවෙලක් කරගත්තා ටික ටික.... හැබැයි ඉතිං අා මඟ කෙටියි.... යා යුතු මඟ දුරයිනේ.... ඊයේ එක දෙයක් කියපු මං අද මෙහෙම කිව්වට හෙට තවත් විදියකට කියයි එක්කෝ...... :p ජීවිතේ ලස්සන කරගන්න එකත් අවුල් කරගන්න එකත් අපේ අතෙයි රැඳිලා තියෙන්නේ.... 

ඉතිං මං දයාබරව කියන්න කැමතියි, ජීවිතේ විඳින්න.... විඳවන්න එපා..... :)



Saturday, January 24, 2015

වැටහෙන් නෑ... ආදරයක්... රිදෙනවා මෙතරම්......



හැමදාම ඔයාට කතා කරල මං රිද්දගන්නවා... එහෙම නොවුන දවසක් තිබ්බොත් අහම්බයක් තමා... ඔව්.. මං අඩනවා.. අඩලම හිත සැටිස් කරගන්නවා.. ආයෙ පහුවෙන්දටත් ඒකම කරනව... මං ඒ ගැන හිතන්නේ නෑ... වරු ගානක් අඬපුවා අමතක කරල විනාඩි ගානක් ඔයත් එක්ක කතා කරපු සතුටින්, ඔයාගෙ සතුට මතක් කර කර ඉන්නව...
මේ අවුරුදු ගානට මං ඔයාගෙන් දැකපු ඒ රළු බව, ආඩම්බරකම අඩුවක් නැතුව තාම එහෙමයි... ඒත් මං ඔයාගෙන් දැක්ක අහිංසක හිතක් තියෙන අව්‍යාජ කොල්ලෙක්... ඔව් මං ඒ අහිංසකයටයි ආදරේ කරන්නේ... පොඩ්ඩ ඇත්නම් රිදෙන මේ හිතට මෙච්චර රිදෙන්න වචන වලින් දමල ගහද්දි ඇත්තමයි මේ මමද ඉවසන් ඉන්නෙ කියල හිතෙනව අනන්තවත්...

ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හිත නන්නත්තාර උනාම මට හිතෙන්නෙම ඔයාට කතා කරල හිත නිදහස් කරගන්න... ඒත් මට වැරදෙනව හැමදාම... ඔයා කරන්නේ පෑරුණ තුවාලෙ මහ දරුණු විදියට තවත් පාරල දාන එක... ආයේ මුල ඉදන් මම තනියම හිත හදාගන්නවා... ඒ ඔයාගේ හැටි වෙන්න ඇති.. මේ මගේ හැටි වෙන්න ඇති...
මට තියෙන්නෙත් මහා මුරණ්ඩු හිතක්... මටවත් මේච්චල් නැති හිතක්... හැබැයි ඔයා ළග එක තත්පරෙකින් කීකරුයි ඒ හිත... නමක් නැති අරුතක් නැති එක්තරා බැඳීමක හිර වෙලා අපි දෙන්නම... ඔයයි මමයි හැරෙන්න වෙන කවුද දන්නේ නේද අපි ගැන ඉතින්..



මතක නටඹුන් අතර වැතිරී 
නිල් අහස දෙස නෙත් යොමා 
සිටින විට සිත මට හොරෙන් 
ඉගිල යයි මා හැර දමා...

තැනින් තැන ඉගිලී ගිහින් 
කිසිම ගොදුරක් නොම ලබා 
නැවත මා වෙත පැමිණි මා සිත 
තැවෙයි වෙහෙසට පත්වෙලා....

විඩාපත්වුණු සිත නිවී 
නෙත් අගින් කඳුළක් නැගී 
ඒ කඳුළු කම්මුල් දිගේ 
ඉතා හෙමිහිට ගලාගෙන විත් 
වියළිලා යනු මට දැනේ...
වියළිලා යනු මට දැනේ...

" You' ll never understand how much I love you and, I' ll never understand why "

Saturday, January 3, 2015

වෘත්තිමය පුස්තකාලයාධිපතිවරයෙකු වීමට ඔබටත් අවස්ථාවක්........



කාලෙකින් මුකුත් ලියන්නත් බැරි උනා... ලියන්න දේවල් නැතුව නෙමේ කම්මැලිකම වැඩි වෙලා තමයි ඉතිං.... :p සෙකන්ඩ් ඉයර් ලියල ඉවර නිසා ගෙදරට වෙලා කාලේ කන්නේ නැතුව රිසාල්ට්ස් අවුට් කරනකන් පබ්ලික් ලයිබ්‍රියක ට්‍රේනින් යන්න පටන් ගත්තා පඩිත් නැතුව..... මුලදි නම් ටිකක් අවුල් පඩිත් නැතුව වැඩ කරන එක ගැන... :( පහු වෙද්දි තමා තේරුනේ සල්ලි වලට ගන්න බැරි තරම් අත්දැකීම් ගොඩක් ට්‍රේනින් එකෙන් ලබාගන්න පුළුවන්  කියලා... ඩිග්‍රී ගත්තත් වැඩක් නෑ අත්දැකීම් නැත්තන් සිටිෆිකේට්ස් ගොඩ ගහන් වේලෙන්න තමා වෙන්නේ... ඒ නිසා ඉගෙන ගන්න ගමන් පොඩියට හරි අදාළ ක්‍ෂේත්‍රයට සම්බන්ධව පොඩියට හරි ජොබ් එකක් කරන්න අමතක කරන්න එපා... 

ඔන්න අද මං පොඩි විස්තරයක් දෙන්න හදන්නේ පුස්තකාලයාධිපති වෘත්තිය සම්බන්ධව... හුඟක් දෙනෙක් මගෙන් විස්තර අහපු නිසා හැමෝටම දැනගන්නත් එක්ක ලියන්න හිතුනා... පොඩි කාලේ ඉඳන් මං පොත් ගුල්ලියෙක්... පොත් වලට මාර ආදරෙයි... අන්න ඒ ආසාව තමා අද මාව මෙතනට ගෙනාවෙත්... ආසාවෙන් කරන දෙයක් කවදාවත් එපා වෙන්නේ නෑ... පුස්තකාල විද්‍යාව ඉගෙනගන්න ක්‍රම 2ක් තියෙනවා... (මං දන්න තරමට) එකක් තමා කැළණි කැම්පස් එකේ උපාධිය... අනික තමා ශ්‍රී ලංකා පුස්තකාල සංගමය විසින් පවත්වන ඩිප්ලෝමා පාඨමාලාව... මං කරන්නේ පුස්තකාල සංගමයේ පුස්තකාල හා විඥාපන  විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව... මේ දවස් වල පුස්තකාල සංගමය විසින් 2015 - Level 1 සඳහා බඳවාගැනීම් සිදුකරනවා...  අදාළ විස්තර මෙන්න බලාගන්නකෝ.... 


මේ පාඨමාලාවේ තියෙන ලොකුම වාසිය තමයි දුර බැහැර පළාත් වල අයට කිසිම අපහසුතාවයකින් තොරව තැපැල් මාර්ගිකව උනත් හදාරන්න පුළුවන්කම තියෙන එක... ජොබ් එකක් කරන ගමන් උනත් ලේසියෙන් කරන්න පුළුවන් සති අන්තයේ දවස් වල දේශන තියෙන හින්දා... තමන්ට පහසු විදියකට කැමති ක්‍රමයක් තෝරගන්න පුළුවන්..... 

දේශන ක්‍රමය ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ... තැපැල් මාර්ගික ක්‍රමය ස්ව අධ්‍යයනයක් වගේ... සංගමයෙන් ලියාපදිංචි තැපෑලෙන් ගෙදරට නෝට්ස් එවනවා නිශ්චිත කාල සටහනකට අනූව... කාල සටහන ඔයාලට කලින්ම දෙයි... අපිට කරන්න තියෙන්නේ නෝට්ස් කියවලා ඒ එක්ක තියෙන පැවරුම් කරලා අවසන් දිනයට කලින් සංගමයට තැපැල් කරන එක... 

 ටයිම් ටේබල් එකක්...
මං කරපු පැවරුම් ටිකක්...
පැවරුම් තමන්ට කැමති විදියට හදලා යවන්න පුළුවන්... පිළිවෙලට ප්‍රියමනාප විදියට හදලා යවනවා නම් ගොඩාක් හොඳයි... මොකද පැවරුම් වල ලකුණු විභාගෙටත් එකතු කරනවා... මාස 3කට සැරයක් සති අන්තයේ දවස් දෙකක් වර්ක්ෂොප්ස් තියනවා.... එදාට පැවරුම් වල අඩුපාඩු ගැටළු ලෙක්චර්ස්ලා එක්ක සාකච්ඡා කරගන්න පුළුවන්... පුස්තකාල සංගමය උපරිමයෙන් උදව් කරන්න සුදානම් අපිට... මේ අවුරුදු දෙක පුරාම මම අත්දැකීමෙන් මේවා කියන්නේ.... පළවෙනි අවුරුද්ද සම්පූර්ණ කරාම සාමාන්‍ය පුස්තකාලයක සහායක වගේ තනතුරක් ගන්න පුළුවන් ගොඩක් දුරට... ජොබ් එක කරන ගමන් ඉතිරි අවුරුදු 2 කම්ප්ලීට් කරගන්නත් පුළුවන්... පුස්තකාලයාධිපති කෙනෙක් වෙන එකත් හිතන තරම් ලේසි නෑ හැබැයි... සිංහල වගේම ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් දැනගන්න එකත්, මනා පරිගණක තාක්ෂණ දැනුමක්, නිරන්තර දැනුම ගවේශණය අත්‍යවශ්‍යම දෙයක්.... ඒවගේම අදාළ ක්‍ෂේත්‍රයට සම්බන්ධව පළපුරුද්දත්.... අන්න ඒ නිසාම මං මුලින් කිව්වා වගේ පොඩියට හරි කමක් නෑ අත්දැකීම් ලබාගන්න එක වටිනවා....

තව දෙයක් තමයි, ගොඩක් අය හිතන් ඉන්නේ පුස්තකාලයාධිපති කෙනෙක් කියන්නේ නිකන් පොත් ගොඩක් අස්සේ පොත් කියව කියව ඉන්න කෙනෙක් කියලා... ඇත්තට ඒක සම්පූර්ණයෙන්ම වැරදියි... ගුරු වෘත්තීන්, වෛද්‍ය වෘත්තීන් වගේම පුස්කාලයාධිපති වෘත්තියත් දැන් ගෞරවනීය වැදගත් වගකීම් සහගත වෘත්තියක්... කෙටියෙන්ම කිව්වොත් පුස්තකාලයාධිපතිවරයෙක් කියන්නේ කළමණාකරුවෙක් වගේ..... පුස්තකාල සම්පත් එකතුව ආරක්ෂා කරමින්, සේවක මණ්ඩලය මෙහෙයවමින්, යහපත් පාඨක සේවාවක් සපයමින් පුස්තකාලයාධිපතිවරයෙක් වැදගත් කාර්යභාරයක් ඉටු කළ යුතුයි.... අද නවීන තාක්ෂණයත් එක්ක පුස්තකාල ක්‍ෂේත්‍රය ගොඩාක් දියුණු වෙලා.... මමත් පුදුම උනා මේ තරමට දියුණුද කියලත්... අවංකවම මං සතුටු වෙනවා මං තෝරගත්තු වෘත්තිය ගැන... ඉතිං මං යන මඟ අනුගමනය කරන්න කැමති අය ඉන්නවා නම් අන්න එයාලට පොඩි හැඳින්වීමක් වෙයි මේ විස්තර.... :)

සුබ නව වසරක් වේවා...!!!
ජය :)