අහස සේ නුඹ අනන්තයි....

Sunday, June 1, 2014

හිමිවුනු ඔබ මට අහිමි වෙලා... කොහොමද වාවා ගන්නේ මා...


මතක් වෙන්නේ නැද්ද මාව චුට්ටක් වත්...

මතක් උනත් නෑ වගේ ඉන්නවා ඇති නේද...

හුම්ම්ම්...

මාත් එහෙමයි දැන්... 

මතක් වෙන හැම පාරම නොදන්නවා වගේ ඉන්නවා...

තනිකරම මම මාත් එක්ක කරගන්න රඟපෑමක්....

දවසක මටම ඇතිවෙයි... 

ඒත් රන්...

ඔයා මවල දුන්න ලෝකේ 
තාමත් මම ජිවත් වෙනවා...
 
අදටත් මේ ඇස් වලට කඳුළු උනන්නේ...
 
ඒ ලස්සන හීනෙන් මිදෙන්න ලෝබ කමට...

අහිමි බව දැන දැනත්...

පණ වගේ ඒ හීනෙට ආදරේ ඇයි කියලා 
අදටත් මම දන්නැහැ...

Thursday, May 15, 2014

අප්පච්චියේ.....




චුට්ටිම චුට්ටි කාලේ ඉඳන් 
ඔය උණුහුමේ තුරුල් වෙලා 
නැළවිලි ගී අහමින් 
නැළවුණු දෝණි මමයි තාමත්
අප්පච්චියේ...

දිනෙන් දින ලොකු මහත් උවත් 
එදා මෙන්ම අදටත්
ඒ දයාබරිත උණුහුමම සොයනා 
ඔබේ පුංචි කුමාරිකාව මමයි 
අප්පච්චියේ....

මහා රෑ නොනිදා අවදිව 
ඔබේ සෙනෙහේ උල්පත සිහිකර 
නිහඬව ඉකිබිඳ වැළපෙන 
සීමා මායිම් නැති පිය සෙනෙහසක 
උරුමක්කාරි මමයි 
අප්පච්චියේ....

සුබ උපන් දිනයක් වේවා කියන්නට
නිදුක් නිරෝගී දිඝායුෂ පතන්නට
දෙපා වැඳ නමදින්නට 
අද ඔයා නැහැනේ මන් ළඟ
දුරක ගියේ ඇයි මගේ 
අප්පච්චියේ..... 


ඔබට නිවන් සුව මගේ රත්තරන් අප්පච්චී...!!!
මතු උපදින හැම භවයකදිම 
ඔයාගෙම දෝණි වෙලා ඉපදෙන්න 
පාරමිතා පුරනවා මන් හැමදාමත්...
ආදරෙයි ගොඩාරියක්....  

Wednesday, May 7, 2014

මට අහිමි මම......



තේරෙන් නෑ කොතනින් පටන් ගන්නද කොතනින් ඉවර කරන්නද කියලා.... හිතේ තියාගෙන ඉන්නවට වඩා මෙහෙම ලියලා දාලා හිත නිදහස් කරගන්න හිතුනා...

ඉස්සෙල්ලම මේක කියන්න ඕනේ.... මට කාගෙවත් අනුකම්පාව ගන්න ඕන නිසා නෙමෙයි මෙහෙම ලියන්නේ...

තවත් එක ස්ටෝරියක් කියලා හිතාගන්නකෝ.... ඒ මදැයි... හ්ම්ම්ම්ම්....

අවුරුදු ගානකට කලින් මාත් සතුටින් නිදහසේ හිටපු සාමාන්‍ය කෙල්ලෙක්.... අම්මීගෙයි අප්පච්චිගේයි අයියගෙයි හුරතලී විදියට හරිම ලස්සනට ජීවත් උනේ....

ඒත් එක්තරා සිදුවීමක් මගේ ජීවිතේම වෙනස් කළා... අදටත් මන් ඒක මතක් කරන්නත් අකමැතියි... ඒත් තිත්ත උනත් ඇත්ත ඒකයි...

ස්කූල් යන කාලේදී (ඒ කියන්නේ පොඩි කාලේ) මන් හිටිහැටියේම අසනීප වෙලා තියෙනවා.... මාස එකහමාරක් හොස්පිටල් එකේ බෙහෙත් වල පිහිටෙන් ජීවත් උනේ...

ඒ මාස එකහමාරෙන් සති ගානක්ම අයි සී යූ එකේ හිටියේ... කෙටියෙන් කිව්වොත් මරණය අත ළග තිබ්බේ...

ලෙඩේ තමා මෙනින්ජිටිස්.... (මොළයට විෂබීජයක් ගිහින්) ඒක හුඟාක් දරුණු ලෙඩක්... ගොඩාක් අය මැරෙනවා මේ ලෙඩේ හැදුනම... බොහෝම ටික දෙනෙක් ජීවත් උනත්, ට්‍රීට්මන්ට්ස් නිසා අතුරු අබාධ ගොඩයි...

කොහොම හරි මට ජීවත් වෙන්න වාසනාවක් තිබුණා... ඩොක්ටර්ස්ලා එදා හිතුවේ මේක නම් හාස්කමක් කියලා... ඒ තරමට මගේ ජිවිතේ අවිනිශ්විත තත්වෙක තිබ්බේ...

පැය හයෙන් හයට බෙහෙත් එන්නත් කළා මට... බෙහෙත් සැරට නින්ද යනවා හොදටෝම...(නින්ද යනවා කිව්වට ඇත්තටම වෙන්නේ සිහි නැති වෙන එක) ඇස් අරින්නේම නැති තරම්... සේලයින් වලින් තමා හැමදේම...

ඒත් මට සම්පූර්ණයෙන්ම සනීප උනේ නෑ... අතුරු අබාධ වලට මටත් මූණ දෙන්න උනා... මට එච්චර මතකයක් නැතත් අම්මා කියන දේවල් එක්ක බැලුවම හම්මෝ එදා මන් හිටපු හැටි මටම පුදුමයි...

බෙහෙත් වල සැර ස්නායු වලට බලපාල මට ඇවිදගන්න වත් බැරුව හිටියේ... කතා කරාට සද්දේ පිට වෙන්නේ නෑ.... ඇහෙන්නේ නෑ... ඒ වෙලාවේ නම් මට හිතුනේ එකම දෙයයි... අපරාදේ මන් බේරුනේ කියලා... මෙහෙම ඉන්නවට වඩා මැරෙන එක සැපයිනේ...

ඊටත් වඩා මට වෙලා තියෙන දේ නිසා අම්මි, අප්පච්චී, අයියා කඳුළු බිබී හිටියේ... පස්සේ එයාලා වෙනුවෙන් වත් ජීවත් වෙන්න හිතාගත්තා දුක පැත්තකට දාලා...



කාලයත් එක්ක මට ඇවිදින්න පුලුවන් උනා... කතා කරන්නත් පුලුවන් උනා... ඒත් වොයිස් එක ටිකක් අවුල්... ඇහෙන එක නම් වෙනසක් නෑ ... ඒ කියන්නේ මම අදටත් ශ්‍රවණාබාධිතයි...

මාස හයකට පස්සේ ආයෙත් ස්කූල් ගියා මම... ඇහෙන්නේ නැතුව ජීවිතේ විඳින එක මට ලොකුම අභියෝගයක් උනා...

කාලයත් එක්ක ටික ටික හුරු උනා... සාමාන්‍ය විදියටම සාමාන්‍ය ළමයි එක්කම ඉගෙනග
ත්තා මන්... හැබැයි මානසිකව නම් අනන්තවත්ව වැටිලා තියෙනවා... මතක් වෙද්දි ඇස් වලට කඳුළුත් එනවා...

මට මතකයි ස්කූල් එකේදී මම පන්තියේ වැඩිම ලකුණු ගත්තා ගොඩක් විෂයන් වලට... ගොඩක් වෙලාවට මම පන්තියේ පළවෙනියා, දෙවැනියා නැත්තම් තුන්වැනියා...

අන්න ඒ නිසාම සමහරු මාත් එක්ක හෙන තරහයි... එයාල හිතන්න ඇති කන් ඇහෙන්නෙත් නැති කෙල්ල පැන්න උඩක් කියලා... මූණටම කිසි දෙයක් නොකිව්වත් මාව මානසිකව හුඟාක් වට්ටලා තියෙනවා යාලුවෝ...


දහය වසරෙදී මට වෙච්ච අමතකම නොවෙන දෙයක් තියෙනවා... සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයයට මුලු බැච් එකේම මගේ පොතේ විතරයි නෝස්ට් සම්පූර්ණ කරලා තිබ්බේ...

මම නෝට්ස් ලියාගන්නෙත් ඉතින් වෙන අයගේ පොත් බලාගෙන තමා... මොකද මට ඇහෙන්නේ නෑනේ... ඉතින් සර් මගේ පොතෙන් තමා ගොඩාක් වෙලාවට අනිත් පන්ති වලට නෝට්ස් දෙන්නේ... ඊටත් වඩා නෝට්ස් සම්පූර්ණ නැති ළමයින්ට සර් බනිනවා මගේ පොත පෙන්නලා මන් ගැන කිය කිය...

දවසක් බලද්දී මගේ පොත අතුරුදහන්... හෙව්වා හෙව්වා හම්බුණේම නෑ... ස්කූල් ගෙනාවා කියලා හොඳට මතකයි... ඒත් බෑග් එකේ පොත නෑ... මට මාරම දුකයි දැන්.. කාට කියන්නද ඉතින්...

කොහොම හරි දවස් හතර පහකට පස්සේ පොඩි පන්තියක මල්ලී කෙනෙක් අපෙ ක්ලාස් එකට ඇවිත් මගේ නම කියලා මාව අහලා... මාත් ගිහින් බැලුවා... දෙයියනේ ඒ මල්ලිගේ අතේ මගේ පොත තියෙනවා... මාව හොල්මන් උනා...

මල්ලී පොත මගේ අතට දීලා කිව්වා අක්කේ මේ පොත අපේ පන්තිය ගාව කුණු ගොඩේ තිබ්බා කියලා... ඒ වෙද්දිත් පොත වැස්සට තෙමිලා අකුරු බොඳ වෙලා තිබ්බේ... මට ඉකි ගැහෙනවා දැන්...

අමාරුවෙන් වචන ටිකක් එකතු කරලා මල්ලිට ගොඩාක් පින් කියලා මන් ආයෙත් පන්තියට ආවා... එදා මන් ඇඬුවා හොඳටෝම... මට හොඳට තේරුණා මේක මාත් එක්ක තරහට කවුරු හරි හිතලම කරපු දෙයක් කියලා... මොනා කරන්නද... අඬලම හිත හදාගත්තා...

එදා සර් මගේ ඔලුව අතගාල එක දෙයක් කිව්වා... දුවේ පොතට මොනවත් උනාට ඔයාගේ හිතට මොනාත් උනේ නෑනේ... වෙච්ච දේ ගැන හිතලා දුක් නොවී ඒ කාලේ ප්‍රයෝජනේට අරන් පාඩම් කරන්න... මන් නෝට්ස් හොයලා දෙන්නම් කියලා... අදටත් මන් ඒ සර්ට පින් දෙනවා අර වෙලාවෙදී මට නැගිටින්න දිරිය දුන්නට...


ඇහෙන්නේ නැතුව කෙල්ලෙක් හැටියට සමාජෙත් එක්ක ජීවත් වෙන එක හරිම අමාරුයි... කවුරු කොහොම හිතුවත් මමයි දන්නේ ඒකේ අමාරු තරම...

මගේ හෙවනැල්ල වගේ අම්මයි අප්පච්චියි අයියයි මාත් එක්ක හිටියා... කොයිම වෙලාවක වත් එයාල මාව තනි කළේ නෑ...

අප්පච්චී නම් ඈත අහසේ තරුවක් උනා සඳහටම... අයියත් රට ගියා... අම්මී මන් වෙනුවෙන්ම කියලා ආර්මි එකෙනුත් අයින් වෙලා මාත් එක්ක හිටියා මගේ හැමදේකටම...

ඒ ලෙවල්ස් කාලේ තමා මගේ ස්කූල් ලයිෆ් එකේ හොඳම කාලේ... අලුත් ස්කූල් එකේදි හැමෝම නැතත් ගොඩක් දෙනා මාව ආදරයෙන් පිළිගත්තා...

දෙවැනි අවුරුද්දේදී පන්තියේ හැමෝම මාත් එක්ක ෆිට්... ඕන දේකට සපෝර්ට්... හර්ෂනී, අමාලි, යසුරි, ටිනාෂි මේ හතරදෙනා තමා මගේ සමීපතම යාලුවෝ, අදටත් එයාලා මාත් එක්ක ඉන්නවා...

ඉතින් දැන් ස්කූල් ලයිෆ් එකට බායි කියලා ඉවරනේ... කොච්චර අමාරුකම් මැද්දේ උනත් අම්මී මට ඉහළටම ඉගෙනගන්න කියලා අවවාද කළා...

මට අහිමි උනේ ඇහෙන එක විතරනේ... ඒත් මට ඊට වඩා හැකියාවන් ගොඩක් තිබ්බා... අන්න ඒවායින් ප්‍රයෝජන ගන්න අම්මී කියලා දුන්නා...

දැන් මම ජ'පුර කැම්පස් එකේ දෙවැනි වසරේ අවසන් විභාගේ ලියන්න ඉන්නේ... ආපස්සට හැරිලා බලද්දී අද මම ඉන්න තැන ගැන මට මාරම සතුටුයි... අම්මී තමයි මට ජීවත් වෙන හැටි කියලා දුන්නු දෙවියෝ...

මම කොච්චර ඉහළට ඉගෙන ගත්තත් මට ඇහෙන්නේ නැති එක නිතරෝම අඩුවක් වගේ දැනෙනවා අනන්තවත්... ඉවසන එක ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ ඉතින්...

සුදුසුකම් අනූව මට ජොබ් කිහිපයක් සෙට් උනා... ඒ හැම එකක්ම හොඳම තත්වයේ ඒවා... ඒත් මට ඒ හැමදෙයක්ම අතාරින්න උනා... මොකද ඒ තනතුරු වල වගකීම දරන්න අමාරුයි මගේ තත්වේ නිසා...

අන්න ඒ වගේ වෙලාවට මන් හිතින් වැටෙනවා මාර විදියට... අඬන්න හිතුනත් මන් අම්මීට පේන්න අඬන්නේ නෑ.... එතකොට අම්මිත් අඬනවනේ... ඒක මට දරාගන්න අමාරු දෙයක්... ඉතින් ඉබේම හිත හැදෙනවා...


වෙලාවකට මේ හැමදේම අතෑරලා දාලා ආබාධිතයෙක් වගේ ජීවත් වෙන හැටි ඉගෙන ගන්න හිතෙන වාර අනන්තයි... මොකද අම්මී මට සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න කියලා දුන්නේ... දවසක සනීප උනාම සාමාන්‍ය විදියටම ඉන්න පුලුවන්නේ කියලා..

ඒ බලාපොරොත්තුව තමා අදටත් මාව ජීවත් කරන්නේ... මම දන්නේ නෑ මන් සනීප වෙයිද කියලා.. ඩොක්ටර්ස්ලා කියන්නේ ඒක කවදා කොයි වෙලාවේ වෙයිද කියන්න බෑ... සනීප වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියලා... සනීප උනත් නැතත් මම එපැයි ජීවිතේ ගෙවලා ඉවර කරන්න...

දවසක් කෙනෙක් මගෙන් ඇහුවා ඔයාට ඇහෙන්නේ නැත්තම් මොකටද ෆෝන් එකක් කියලා... මට හිනා ගියා ඒ වෙලාවේ... ටික වෙලාවකින් ඇස් වලට කඳුළු පිරුනා...

ෆෝන් එකක් තියෙන්නේ කෝල්ස් ගන්න විතරමද... වෙන ඔප්ෂන් කොච්චර තියෙනවද... මැසේජ්ස් යවන්න ඇහෙන්න වත්, කතා කරන්න වත් ඕනේ නෑනේ...

මිනිස්සු වෙලාවකට හරිම පුදුමයි... තව කෙනෙක්ගේ හිත රිදෙනවා කියලා නොහිතා කටට ආපු පළියට කියෝනවා...

ඔන්න ඕකයි මගේ කතාව........!!!





මන් දැකලා තියෙනවා ගොඩාක් අය ඉන්නවා පොඩි ඔලුවේ කැක්කුමක් හැදුනත් ඊට වඩා දුකක් නෑ වගේ හැසිරෙන... ඉතින් මන් අහන්නේ මට වෙච්ච දේවල් වලින් ටිකක් වත් ඔයාලට වෙලා තියෙනවද.. නෑනේ...

සතුටු වෙන්න තමන් ගැන... තමන්ට ලැබිලා තියෙන දේ ගැන හිතන්න... අහිමි වීම් ජීවිතේ සුලභයි... ඒ අහිමි උන දේවල් මත්තේම දුක් වෙවී ඉන්න ගියොත් අපිට අනාගතයකුත් නැති වෙනවා...

හම්මේ අතත් රිදෙනවා දැන් නම්... කියවන්නේ ඔයාල උනාට මම එපැයි ටයිප් කරන... මේ ඇති හයියූ... ටටා...

Thursday, April 10, 2014

නුඹ සුළගක්....නොපෙනෙන මුත්... මට දැනෙන....


බිඳු බිඳු වැටෙනා මහ වැහි පොද                       අතරින් 
ඔබේ රුව දුටුවේ අමතක නොවෙනා                ලෙසින් 
දෙහදක් ආදරෙන් බැඳුනු එදවස යළි                 ඇවිදින් 
කෙසේ නම් සුසුම් නොහෙළා ඉන්නද මම           ඉතින්
 
හිරු සඳු තරුට නිල් අහසට ආදරේ සම             කරමින් 
කවට වදනින් ඔච්චම් කරලා මුණත් රතු           කරමින් 
ඉඳහිට පොඩ්ඩක් තරහින් රවලා හොරැහින්         හිනැහී 
දින සති ගෙවුනේ නොදනිම අපි අපේ              වෙමින්

සුළඟ වගේ ඇවිදින් හිතට දැනුණු                     ආදරේ 
නුඹ නොදුටු මා නොදුටු අහිංසක ඒ                   ආදරේ 
අරුතක් නොමැති මුත් අද අපේ                        ආදරේ 
මට දැනෙනවා මට හැඟෙනවා තවමත් ඒ           ආදරේ 

Tuesday, February 11, 2014

ගලන ගඟකි ජිවිතේ....



ගොඩක් අය තමන්ට අහිමියි කියන දේවල් වල තමන්ගේ සතුට තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ... එහෙම හිතලා හිතල හිතේ හිතේ තියෙන සැනසිල්ලත් නැති කරගන්නවා... තිත්ත උනත් ඇත්ත මේකයි... ජිවිතේ අපි කවුරුවත් සර්ව සම්පුර්ණ නැහැ... 

*ඔයා සල්ලි නෑ කිය කිය දුක් වෙද්දී... සල්ලිකාරයෝ කීයෙන් කි දෙනෙක් දුක් වේවි ඉන්නවා ඇතිද සල්ලි වලට ගන්න බැරි සතුට සැනසීම ගැන හිත හිත....

*ඔයාට ලස්සන ඇඳුම් පැළඳුම් නෑ කියා කියා දුක් වෙද්දී... විළි වහගන්න රෙදි කෑල්ලක් වත් නැතුව අවුවට වේලි වේලි සීතලේ ගැහි ගැහි නිරුවතින් ඉන්න ළමයි කොච්චර ඉන්නවද...

*ආදරේ කරපු කොල්ල කෙල්ල දාල ගියා කියලා ඔයා දුක් වේවි ඉද්දි... ආදරේ කියන හැඟීම කවදාවත් අත්විඳලා නැති මන්ද බුද්ධික, ආබාධිත අය කොච්චර ඉන්නවද... 

*ජිවිතේ එපා වෙලා කියල ඔයා කන් කෙඳිරි ගගා ඉද්දි... කැන්සර් හැදිලා, වකුගඩු අමාරු හැදිලා, හදවතේ සිදුරු හැදිලා ජිවත් වෙන්න පණ අදින කීයෙන් කි දෙනෙක් ඉන්නවද... 

*බස් එකේ යද්දී හයියෙන් සින්දු දාල තියෙද්දී ඔයා හිතින් කොච්චර බැන බැන ඉන්නවා ඇතිද මිට වඩා හොඳයි බීරි උනා නම් කියලා... එත්... තමන්ගේ නම වත් අහන්න පිනක් නැතුව නිහඬ ලෝකේ ජිවත් වෙන කීයෙන් කී දෙනෙක් ඉන්නවද මේ ලෝකේ...


*දකින්න අකමැති දෙයක් දැක්කම මේ දෑස මක්කටෙයි කියාගන්නවත් ඇති ඔයා... පාට කියන්නේ මොනාද කියල වත් නාදුනන... සුදු සැරයටියේ පිහිටෙන් ජිවත් වෙන කි දෙනෙක් ඉන්නවද නේද...





දැන් හිතන්න ඔයාද එයාලද වාසනාවන්ත.. කියලා... ඔයා නේද... 
එත්... අවාසනාවන්ත උනත් එයාල අභියෝග ජයගෙන අනාගතේ හදාගන්නවා...

ජිවිතේ ඉස්සරහටම යනවා... 
අහල තියෙනවද කොහෙවත් අබාධිතයෙක් සියදිවි හානි කරගත්තා කියලා... අහල ඇති.. එත් හරිම කලාතුරකින් නේද... ඊට හරියන්න අද දවස ගානේ අතපය හොඳින් තියෙන කිසි දෙකින් අඩුවක් නැති අයම ජීවිතෙන් මුණ දෙන්න බැරුව කොච්චි වලට පැනලා, බෙල්ලේ වැල දාගෙන, මුහුදට පැනලා දිවි නහගන්නවා... තනියම නෙමේ.. හය හතර නොතේරෙන කිරි සප්පයන් එක්ක පවා... සැක් .... කොච්චර ලැජ්ජවෙන්න ඕනේ දෙයක්ද... 





ජිවිතේ කියන්නේ ගඟක් වගේ...
ගලාගෙන යද්දී ගල්පර වල හැප්පෙනවා..
මහා වැස්සට ගඟ උතුරා පිටාර ගලනවා...
තවත් කාලෙකට නියගයට අහු වෙලා වතුර හිඳෙනවා...
අපේ ජීවිතෙත් එහෙමනේ.. කාලෙකට සරුයි... කාලෙකට අන්ත අසරණ වෙනවා... ඒත්... ජීවිතෙන් පැනලා යන එකම නෙමේ විසඳුම... ඒවාට මුහුණ දෙන එකයි එකම විසඳුම...
අටලෝ දහම ගැන හිතන්න...
සොබාදහම හැඩගැහෙන්න උත්සහ කරන්න...
සතුටට විතරක් නෙමේ දුකටත් ජිවිතේ ඉඩක් දෙන්න..
ජිවත් වෙලා මේ ඉන්න ටිකේ උදව්වක් උපකාරයක් කරගෙන හිනා වෙලා සතුටින් ඉමු... 



Friday, February 7, 2014

පෑන් පැන්සල් එක්ක ඔට්ටු වෙන... තනිරුල් පොතක් ජිවිතයම මගේ...




ජීවිතෙත් හරියට තනිරුල් පොතක් වගේ... 
මුලින් ඉරි කෑලි, රවුම්, කොටු, ඉලක්කම්, අකුරු ලියනවා පැන්සලෙන් පුරුදු වෙන්න...
පස්සේ ටික ටික වචනයෙන් වචනය... වාක්‍යයෙන් වාක්‍යය... ජේදයෙන් ජේදය ලියන්න පුරුදු වෙනවා මකනයෙන් මක මක... 
එත්.. පහු වෙද්දී ඒ පොතේ පෑනෙන් ලියන්න වෙනවා...
හැබැයි පැන්සලෙන් මක මක ලිව්වා වගේ වරද්දන්න බෑ... 
පරිස්සමට ලියන්න ඕනේ කල්පනාවෙන්... 
වැරදුනා කියලා පොත පැත්තකට දාල හරියන්නෙත් නෑ ... 
වැරදි ගැන හිත හිත ඉන්නත් බෑ ...
ඒ වැරදිත් එක්ක ඉස්සරහට යන්න ඕනේ... 



*
සමහරු ලියද්දි වැරදුනා කියලා මුළු පොතම පැත්තකට දානවා... (දිවි නහගන්නවා)
*
සමහරු පොත ලස්සනට ලියාගෙන යනවා... (ජිවිතේ ඉස්සරහට යනවා)
*
සමහරු පොතට ලස්සන පිටකවරයක් දාගෙන පිටින් විතරක් ලස්සන කරගෙන ඉන්නවා... ඒත් ඇතුලෙන් හිස්... (එලොවත් නෑ මෙලොවත් නෑ)
*
සමහරු පිටිනුයි අතුලෙනුයි දෙකම ලස්සනට තියාගෙන ඉන්නවා.... (ආදර්ශමත් ජිවිතයක්)



ඒ අතරේ මම....
...........>>>>>>>>



පොතත් අතේ තියාගෙන... පෑනත් අතේ තියාගෙන...
ලියන්නේ මොනාද.. කොතනින්ද පටන් ගන්නේ කියලා...
කල්පනා කර කර ඉන්නවා...
  


හැපුයි... :( :( :(

Sunday, December 8, 2013

මේ මනු ලෝකේ සුරිදිනු මගේ....දෙවියොත් මගේ ආදර තාත්තයි...!!!


අප්පච්චි ඈත අහසේ තරුවක් උන දා ඉදං අපේ මුළු ගෙදරම පාලුවට ගිහින්... ඉස්සර සිංහල අලුත් අවුරුද්ද දවසට, ජනවාරි පළවෙනිදට මට අනිවාර්යෙන් කිරිබත් කටවල් 3ක් හම්බුනා... එකක් අප්පච්චිගෙන්... තව එකක් අම්මිගෙන්.. අනික අයියගෙන්... දැන් අම්මි විතරයි මට කිරිබත් කටක් කවන්න ඉන්නේ....අයියත් රට ගියා... එදාට දුක වැඩි කමට අම්මයි මමයි අඬනවා හොදටෝම.. මම ආසම නෑ ඒ දවස් දෙකට.. ඒ වගේම මගේ උපන් දිනේ දවසටත්...


මට මතකයි අම්මි දවසක් කිවුවා අප්පච්චිට එයාගේ උපන් දිනේට හම්බුන ලස්සනම තෑග්ග මමලු... අප්පච්චිගේ උපන් දිනේට පහු වෙනිදා තමයි මම ඉපදිලා තියෙන්නේ... මැයි 15අප්පච්චිගේ..මැයි 16 මගේ... ඉතිං දවස් දෙකක් කිරිබත් හදනවා අම්මි... මං සල්ලි එකතු කරලා පොඩි තෑග්ගක් ගෙනත් හංගලා තියල අප්පච්චිගේ උපන්දිනේ දවසේ උදේම නැගිටලා අප්පච්චිට දීල දණ ගහලා වැඳලා උම්මා එකකුත් දෙනවා... අන්න ඒ වෙලාවට අප්පච්චිගේ ඇස් ලාවට වගේ කඳුළු උනලා දිලිසෙනවා සතුටට... එදාට ඉස්කෝලේ ගිහිල්ලත් යාලුවොත් එක්ක කියවන්නේ ඒ ගැනමයි.. පුංචි කමට උනත් ඒ දවස් වල මං කරපුවා මතක් වෙද්දීත් මගේ ඇස් තෙත් වෙනවා...

චුටි කාලේ ඉදං ඩේ කෙයාර් එකේ හැරුනම මගේ ජිවිතේ වැඩි හරියක් අප්පච්චි එක්කමයි ගෙවුනේ.. ඒ කාලේ යුද්දේ නිසා ආර්මි එකේ හිටිය අම්මිට හුගාක් වැඩ තිබ්බා.. උදේට ගිහින් රෑට ගෙදර ආවේ... ඒත් අප්පච්චි අම්මි වගේ බිසී උනේ නෑ...ඉතිං මං දන්නා කාලෙක ඉදන් මගේ ලෝකේ වීරයා උනේ අප්පච්චි.. අප්පච්චිට මං කොච්චර ෆිට්ද කියනවා නම්, ගෙදරදී හලෝ මචං කියලා තමා මං අප්පච්චිට කතා කලෙත්... අම්මිත් එක්ක, අයියත් එක්ක රණ්ඩු උනාම අප්පච්චි මගේ පැත්ත ගත්තේ හැමදාම... කවදාවත් අපි හැමෝම කෑවද හොයලා බලලා මිසක් කෑවේ නෑ... මං තරහ වෙලා නොකාම නිදාගද්දී අප්පච්චි කාමරේට ඇවිත් මාව ඇහැරවලා කන්න එක්ක යනවා... මං කෑවේ නැත්තම් අප්පච්චිට හරිම දුකයි... ඒ කාලේ මං හරිම දඟ මල්ලක්... අප්පච්චිට වද දීලා ඇති අනන්තවත්... ඒත් මට ගුටියක් හම්බෙන්නේ හරිම කලාතුරකින්...ඇත්තටම හරිම සුන්දරයි ඒ කාලේ...

අප්පච්චි නැති උනාට පස්සෙයි මං දැනගත්තේ ගමේ අයගේ හිතේ අප්පච්චිට තිබුන තැන.... සල්ලි වලින් පෝසත් නැති උනාට අප්පච්චිට තිබ්බේ මනුස්සකමින් පෝසත් හිතක්.. අදටත් මං පාරේ යද්දී ගමේ කව්රු හරි මාව දැක්කම කියන්නේ අර අපේ ප්‍රේමසිරි අයියගේ දෝණි නේද කියලා...ඊට පස්සේ කතා වෙන්නේ අප්පච්චිගේ හොදමයි.... මාව දකින ගොඩක් අය කියනවා අප්පච්චිගේ ඇස් දෙක වගේමයි, අප්පච්චිගේ හිනාව වගේමයි කියලා.... ඒ හැමදේටම වඩා මට ආඩම්බර අප්පච්චිගේ දෝණි කියනකොට... කවදාවත් ගමේ කොල්ලෙක් වත් මට විහිළුවක් කරලා නෑ... අම්මියි මමයි මේ ගෙදර තට්ට තනියම ඉදලත් කුරා කුඹික්ගෙන් වත් කරදරයක් නැතුව අදටත් මේ ගමේ ඉන්න පුළුවන් උනෙත් අප්පච්චි හින්දයි..

දැන් මගේ උපන් දිනේ දවස ගෙවෙන්නේ පන්සලේ.... එදාට මට පුදුම දුකයි.... පන්සලට ගිහින් මල් පුජා කරලා, පහන් පත්තු කරලා අප්පච්චිට පින් දීලා හවස් වෙලා ගෙදර එනවා... මගේ ජීවිතේට මං හුගාක්ම අසරණ උනේ අප්පච්චි නැති උන දවසේ.... මං අප්පච්චිගේ මිනිය වත් දැක්කේ නෑ... මට ඒක දකින්න හයියක් තිබුනේ නෑ ... හිත හදාගන්න සෑහෙන්න කාලයක් ගියා... අදටත් සමහර දාට අප්පච්චි මතක් වෙලා රෑට කාටවත් නොදැනෙන්න අඬනව... 



අප්පච්චි තමයි මගේ ලෝකේ පළවෙනි වීරයා... ඒ වගේම පළවෙනි ආදරයත්... 
උපදින හැම භවයකම අප්පච්චිගේ දෝණි වෙලාම ඉපදෙන්න කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ... අප්පච්චි නැතුව ගොඩාක් පාලුයි.... මං පොරොන්දු වෙනවා අප්පච්චිගේ දෝණි කියලා හැමෝටම ආඩම්බරෙන් කියන්න පුළුවන් විදියට හොද කෙනෙක් වෙනවා කියාලා..