අහස සේ නුඹ අනන්තයි....

Thursday, April 10, 2014

නුඹ සුළගක්....නොපෙනෙන මුත්... මට දැනෙන....


බිඳු බිඳු වැටෙනා මහ වැහි පොද                       අතරින් 
ඔබේ රුව දුටුවේ අමතක නොවෙනා                ලෙසින් 
දෙහදක් ආදරෙන් බැඳුනු එදවස යළි                 ඇවිදින් 
කෙසේ නම් සුසුම් නොහෙළා ඉන්නද මම           ඉතින්
 
හිරු සඳු තරුට නිල් අහසට ආදරේ සම             කරමින් 
කවට වදනින් ඔච්චම් කරලා මුණත් රතු           කරමින් 
ඉඳහිට පොඩ්ඩක් තරහින් රවලා හොරැහින්         හිනැහී 
දින සති ගෙවුනේ නොදනිම අපි අපේ              වෙමින්

සුළඟ වගේ ඇවිදින් හිතට දැනුණු                     ආදරේ 
නුඹ නොදුටු මා නොදුටු අහිංසක ඒ                   ආදරේ 
අරුතක් නොමැති මුත් අද අපේ                        ආදරේ 
මට දැනෙනවා මට හැඟෙනවා තවමත් ඒ           ආදරේ 

Tuesday, February 11, 2014

ගලන ගඟකි ජිවිතේ....



ගොඩක් අය තමන්ට අහිමියි කියන දේවල් වල තමන්ගේ සතුට තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ... එහෙම හිතලා හිතල හිතේ හිතේ තියෙන සැනසිල්ලත් නැති කරගන්නවා... තිත්ත උනත් ඇත්ත මේකයි... ජිවිතේ අපි කවුරුවත් සර්ව සම්පුර්ණ නැහැ... 

*ඔයා සල්ලි නෑ කිය කිය දුක් වෙද්දී... සල්ලිකාරයෝ කීයෙන් කි දෙනෙක් දුක් වේවි ඉන්නවා ඇතිද සල්ලි වලට ගන්න බැරි සතුට සැනසීම ගැන හිත හිත....

*ඔයාට ලස්සන ඇඳුම් පැළඳුම් නෑ කියා කියා දුක් වෙද්දී... විළි වහගන්න රෙදි කෑල්ලක් වත් නැතුව අවුවට වේලි වේලි සීතලේ ගැහි ගැහි නිරුවතින් ඉන්න ළමයි කොච්චර ඉන්නවද...

*ආදරේ කරපු කොල්ල කෙල්ල දාල ගියා කියලා ඔයා දුක් වේවි ඉද්දි... ආදරේ කියන හැඟීම කවදාවත් අත්විඳලා නැති මන්ද බුද්ධික, ආබාධිත අය කොච්චර ඉන්නවද... 

*ජිවිතේ එපා වෙලා කියල ඔයා කන් කෙඳිරි ගගා ඉද්දි... කැන්සර් හැදිලා, වකුගඩු අමාරු හැදිලා, හදවතේ සිදුරු හැදිලා ජිවත් වෙන්න පණ අදින කීයෙන් කි දෙනෙක් ඉන්නවද... 

*බස් එකේ යද්දී හයියෙන් සින්දු දාල තියෙද්දී ඔයා හිතින් කොච්චර බැන බැන ඉන්නවා ඇතිද මිට වඩා හොඳයි බීරි උනා නම් කියලා... එත්... තමන්ගේ නම වත් අහන්න පිනක් නැතුව නිහඬ ලෝකේ ජිවත් වෙන කීයෙන් කී දෙනෙක් ඉන්නවද මේ ලෝකේ...


*දකින්න අකමැති දෙයක් දැක්කම මේ දෑස මක්කටෙයි කියාගන්නවත් ඇති ඔයා... පාට කියන්නේ මොනාද කියල වත් නාදුනන... සුදු සැරයටියේ පිහිටෙන් ජිවත් වෙන කි දෙනෙක් ඉන්නවද නේද...





දැන් හිතන්න ඔයාද එයාලද වාසනාවන්ත.. කියලා... ඔයා නේද... 
එත්... අවාසනාවන්ත උනත් එයාල අභියෝග ජයගෙන අනාගතේ හදාගන්නවා...

ජිවිතේ ඉස්සරහටම යනවා... 
අහල තියෙනවද කොහෙවත් අබාධිතයෙක් සියදිවි හානි කරගත්තා කියලා... අහල ඇති.. එත් හරිම කලාතුරකින් නේද... ඊට හරියන්න අද දවස ගානේ අතපය හොඳින් තියෙන කිසි දෙකින් අඩුවක් නැති අයම ජීවිතෙන් මුණ දෙන්න බැරුව කොච්චි වලට පැනලා, බෙල්ලේ වැල දාගෙන, මුහුදට පැනලා දිවි නහගන්නවා... තනියම නෙමේ.. හය හතර නොතේරෙන කිරි සප්පයන් එක්ක පවා... සැක් .... කොච්චර ලැජ්ජවෙන්න ඕනේ දෙයක්ද... 





ජිවිතේ කියන්නේ ගඟක් වගේ...
ගලාගෙන යද්දී ගල්පර වල හැප්පෙනවා..
මහා වැස්සට ගඟ උතුරා පිටාර ගලනවා...
තවත් කාලෙකට නියගයට අහු වෙලා වතුර හිඳෙනවා...
අපේ ජීවිතෙත් එහෙමනේ.. කාලෙකට සරුයි... කාලෙකට අන්ත අසරණ වෙනවා... ඒත්... ජීවිතෙන් පැනලා යන එකම නෙමේ විසඳුම... ඒවාට මුහුණ දෙන එකයි එකම විසඳුම...
අටලෝ දහම ගැන හිතන්න...
සොබාදහම හැඩගැහෙන්න උත්සහ කරන්න...
සතුටට විතරක් නෙමේ දුකටත් ජිවිතේ ඉඩක් දෙන්න..
ජිවත් වෙලා මේ ඉන්න ටිකේ උදව්වක් උපකාරයක් කරගෙන හිනා වෙලා සතුටින් ඉමු... 



Friday, February 7, 2014

පෑන් පැන්සල් එක්ක ඔට්ටු වෙන... තනිරුල් පොතක් ජිවිතයම මගේ...




ජීවිතෙත් හරියට තනිරුල් පොතක් වගේ... 
මුලින් ඉරි කෑලි, රවුම්, කොටු, ඉලක්කම්, අකුරු ලියනවා පැන්සලෙන් පුරුදු වෙන්න...
පස්සේ ටික ටික වචනයෙන් වචනය... වාක්‍යයෙන් වාක්‍යය... ජේදයෙන් ජේදය ලියන්න පුරුදු වෙනවා මකනයෙන් මක මක... 
එත්.. පහු වෙද්දී ඒ පොතේ පෑනෙන් ලියන්න වෙනවා...
හැබැයි පැන්සලෙන් මක මක ලිව්වා වගේ වරද්දන්න බෑ... 
පරිස්සමට ලියන්න ඕනේ කල්පනාවෙන්... 
වැරදුනා කියලා පොත පැත්තකට දාල හරියන්නෙත් නෑ ... 
වැරදි ගැන හිත හිත ඉන්නත් බෑ ...
ඒ වැරදිත් එක්ක ඉස්සරහට යන්න ඕනේ... 



*
සමහරු ලියද්දි වැරදුනා කියලා මුළු පොතම පැත්තකට දානවා... (දිවි නහගන්නවා)
*
සමහරු පොත ලස්සනට ලියාගෙන යනවා... (ජිවිතේ ඉස්සරහට යනවා)
*
සමහරු පොතට ලස්සන පිටකවරයක් දාගෙන පිටින් විතරක් ලස්සන කරගෙන ඉන්නවා... ඒත් ඇතුලෙන් හිස්... (එලොවත් නෑ මෙලොවත් නෑ)
*
සමහරු පිටිනුයි අතුලෙනුයි දෙකම ලස්සනට තියාගෙන ඉන්නවා.... (ආදර්ශමත් ජිවිතයක්)



ඒ අතරේ මම....
...........>>>>>>>>



පොතත් අතේ තියාගෙන... පෑනත් අතේ තියාගෙන...
ලියන්නේ මොනාද.. කොතනින්ද පටන් ගන්නේ කියලා...
කල්පනා කර කර ඉන්නවා...
  


හැපුයි... :( :( :(

Sunday, December 8, 2013

මේ මනු ලෝකේ සුරිදිනු මගේ....දෙවියොත් මගේ ආදර තාත්තයි...!!!


අප්පච්චි ඈත අහසේ තරුවක් උන දා ඉදං අපේ මුළු ගෙදරම පාලුවට ගිහින්... ඉස්සර සිංහල අලුත් අවුරුද්ද දවසට, ජනවාරි පළවෙනිදට මට අනිවාර්යෙන් කිරිබත් කටවල් 3ක් හම්බුනා... එකක් අප්පච්චිගෙන්... තව එකක් අම්මිගෙන්.. අනික අයියගෙන්... දැන් අම්මි විතරයි මට කිරිබත් කටක් කවන්න ඉන්නේ....අයියත් රට ගියා... එදාට දුක වැඩි කමට අම්මයි මමයි අඬනවා හොදටෝම.. මම ආසම නෑ ඒ දවස් දෙකට.. ඒ වගේම මගේ උපන් දිනේ දවසටත්...


මට මතකයි අම්මි දවසක් කිවුවා අප්පච්චිට එයාගේ උපන් දිනේට හම්බුන ලස්සනම තෑග්ග මමලු... අප්පච්චිගේ උපන් දිනේට පහු වෙනිදා තමයි මම ඉපදිලා තියෙන්නේ... මැයි 15අප්පච්චිගේ..මැයි 16 මගේ... ඉතිං දවස් දෙකක් කිරිබත් හදනවා අම්මි... මං සල්ලි එකතු කරලා පොඩි තෑග්ගක් ගෙනත් හංගලා තියල අප්පච්චිගේ උපන්දිනේ දවසේ උදේම නැගිටලා අප්පච්චිට දීල දණ ගහලා වැඳලා උම්මා එකකුත් දෙනවා... අන්න ඒ වෙලාවට අප්පච්චිගේ ඇස් ලාවට වගේ කඳුළු උනලා දිලිසෙනවා සතුටට... එදාට ඉස්කෝලේ ගිහිල්ලත් යාලුවොත් එක්ක කියවන්නේ ඒ ගැනමයි.. පුංචි කමට උනත් ඒ දවස් වල මං කරපුවා මතක් වෙද්දීත් මගේ ඇස් තෙත් වෙනවා...

චුටි කාලේ ඉදං ඩේ කෙයාර් එකේ හැරුනම මගේ ජිවිතේ වැඩි හරියක් අප්පච්චි එක්කමයි ගෙවුනේ.. ඒ කාලේ යුද්දේ නිසා ආර්මි එකේ හිටිය අම්මිට හුගාක් වැඩ තිබ්බා.. උදේට ගිහින් රෑට ගෙදර ආවේ... ඒත් අප්පච්චි අම්මි වගේ බිසී උනේ නෑ...ඉතිං මං දන්නා කාලෙක ඉදන් මගේ ලෝකේ වීරයා උනේ අප්පච්චි.. අප්පච්චිට මං කොච්චර ෆිට්ද කියනවා නම්, ගෙදරදී හලෝ මචං කියලා තමා මං අප්පච්චිට කතා කලෙත්... අම්මිත් එක්ක, අයියත් එක්ක රණ්ඩු උනාම අප්පච්චි මගේ පැත්ත ගත්තේ හැමදාම... කවදාවත් අපි හැමෝම කෑවද හොයලා බලලා මිසක් කෑවේ නෑ... මං තරහ වෙලා නොකාම නිදාගද්දී අප්පච්චි කාමරේට ඇවිත් මාව ඇහැරවලා කන්න එක්ක යනවා... මං කෑවේ නැත්තම් අප්පච්චිට හරිම දුකයි... ඒ කාලේ මං හරිම දඟ මල්ලක්... අප්පච්චිට වද දීලා ඇති අනන්තවත්... ඒත් මට ගුටියක් හම්බෙන්නේ හරිම කලාතුරකින්...ඇත්තටම හරිම සුන්දරයි ඒ කාලේ...

අප්පච්චි නැති උනාට පස්සෙයි මං දැනගත්තේ ගමේ අයගේ හිතේ අප්පච්චිට තිබුන තැන.... සල්ලි වලින් පෝසත් නැති උනාට අප්පච්චිට තිබ්බේ මනුස්සකමින් පෝසත් හිතක්.. අදටත් මං පාරේ යද්දී ගමේ කව්රු හරි මාව දැක්කම කියන්නේ අර අපේ ප්‍රේමසිරි අයියගේ දෝණි නේද කියලා...ඊට පස්සේ කතා වෙන්නේ අප්පච්චිගේ හොදමයි.... මාව දකින ගොඩක් අය කියනවා අප්පච්චිගේ ඇස් දෙක වගේමයි, අප්පච්චිගේ හිනාව වගේමයි කියලා.... ඒ හැමදේටම වඩා මට ආඩම්බර අප්පච්චිගේ දෝණි කියනකොට... කවදාවත් ගමේ කොල්ලෙක් වත් මට විහිළුවක් කරලා නෑ... අම්මියි මමයි මේ ගෙදර තට්ට තනියම ඉදලත් කුරා කුඹික්ගෙන් වත් කරදරයක් නැතුව අදටත් මේ ගමේ ඉන්න පුළුවන් උනෙත් අප්පච්චි හින්දයි..

දැන් මගේ උපන් දිනේ දවස ගෙවෙන්නේ පන්සලේ.... එදාට මට පුදුම දුකයි.... පන්සලට ගිහින් මල් පුජා කරලා, පහන් පත්තු කරලා අප්පච්චිට පින් දීලා හවස් වෙලා ගෙදර එනවා... මගේ ජීවිතේට මං හුගාක්ම අසරණ උනේ අප්පච්චි නැති උන දවසේ.... මං අප්පච්චිගේ මිනිය වත් දැක්කේ නෑ... මට ඒක දකින්න හයියක් තිබුනේ නෑ ... හිත හදාගන්න සෑහෙන්න කාලයක් ගියා... අදටත් සමහර දාට අප්පච්චි මතක් වෙලා රෑට කාටවත් නොදැනෙන්න අඬනව... 



අප්පච්චි තමයි මගේ ලෝකේ පළවෙනි වීරයා... ඒ වගේම පළවෙනි ආදරයත්... 
උපදින හැම භවයකම අප්පච්චිගේ දෝණි වෙලාම ඉපදෙන්න කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ... අප්පච්චි නැතුව ගොඩාක් පාලුයි.... මං පොරොන්දු වෙනවා අප්පච්චිගේ දෝණි කියලා හැමෝටම ආඩම්බරෙන් කියන්න පුළුවන් විදියට හොද කෙනෙක් වෙනවා කියාලා..

හුදකලා විරාමයේදී හමුවෙමුද ටිකක්....




නිහඬ ලොවක කල්පනා
මවයි සොඳුරු චේතනා
ඔයයි මමයි තනිවෙලා
පැතූ පැතුම් සැබෑ වෙලා...


හීන ලෝකෙට ආසයි මං වැඩියෙන්

අපි දෙන්නට හමුවෙන්න හැකිවෙන්
හැබෑ ලෝකෙට බයයි මං සත්තකින්
වෙන් වෙන්නට උනොත් අපිට අපෙන්...


ඔය උණුහුමේ ගුලි වෙලා

ඔය නෙතු බැල්මේ කිමිදිලා
ඉන්නම් ආදරෙන් වෙලිලා
මියෙන තුරාම සෙනෙහසින්....

Wednesday, December 4, 2013

හිරුට පෙම් බැඳි මම ....


මට අද ඊයේ වගේ මතකයි හැමදේම...  ඔයාට කොහොම ඇතිද මන්දා... මට ආදරෙයි කියලා කියාගන්න බැරුව ඔයා කට්ට කාපු හැටි... හික්ස්...  කොච්චර දුක් වේදනා අස්සේ උනත් ඒ අතීතේ මතක් වෙද්දී මට හිනා යනවා...  මගේ හිතේ ඔයාට තියෙන ආදරෙත් තව තවත් වැඩි වෙනවා...  මට කෙලින් කියන්න බයේ වටින් ගොඩින් සින්දු කෑලි කීයක් නම් එව්වද ඔයා...  මට හැමදේම තේරුනත් නොදන්නවා වගේ හිටියා...  එවපු සින්දු කෑලි වලට "ෂා ලස්සනයි..." "ෂෝයි සින්දුව නේද..." කිය කිය හිටියා...  හප්පේ බලන්න වටිනවා එතකොට ඔයාගේ මූණ මේම මේම බෙරි වෙලා තියෙන හැටි...  ඔයා එවපු ඒ සින්දු කෑලි අතරින් මං අදටත් ගොඩාක් ආස කරන පද පේළි දෙකක් තියෙනවා...
"හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නේ කොහොම... "

මටත් ඔයාට කියන්න තියෙන්නේ මේ ටිකම තමා බබා...  එදා ඔයාට මගේ ජීවිතේට ළං වෙන්න ඉඩ නොදී මඟ හැරියේ මං මටත් වඩා ඔයාට ආදරේ නිසයි...  මාත් එක්ක ඉඳලා ඔයත් දුක් විඳිනවා දකින්න මට ඕන උ‍නේ නෑ... අදටත් එහෙමයි... ඒ සිතුවිල්ල හැමදාමත් තියෙයි... පුලුවන් නම් මට සමාව දෙන්න බබා... 

අහම්බෙන් හමුවුණු
ඔය දඟකාර හිත අද්දර
මම නිහඬ උනා...
එදා මගේ නිහඬ බවට
ඔයා දුක් උනා...
ඒත් අද...
මම ඔයාගේ නිහඬ බවට
දුක් වෙනවා...
කාලය කොතරම් නපුරුද නේද..
හ්ම්ම්ම්...
අන්තිමට අපිට ලැබුණ දේකුත් නෑ...
දුකම හැරෙන්න...

Saturday, November 2, 2013

බිහිරි දැරියකගේ නොනිමි සිතුවිලි...


(මගේ ජීවිතේට මං අකුරු කරපු සංවේදීම වදන් පෙළ වෙන්න ඇති මේ...
කියවනවට කියෙව්වොත් නම් නිකන්ම නිකන් වචන ගොඩක් වගේ දැනෙයි...
ඒත් ඒ හැම වචනයක්ම හිතට අරන් කියෙව්වොත් නම්....
මට දැනුණ හැඟීමම ඔයාලටත් දැනෙයි... 
අපි හැමෝම ජීවිතේ දිහා බලන්නේ එකම කෝණයකින් නෙමෙයි කියලා ඔයාලට තේරෙයි එතකොට...) -සඳ කින්නරාවී -
නිහඬ ලෝකයක්...
පාට පිරුණු... ලස්සන...
නිහඬම නිහඬම ලෝකයක්....
හැමෝම ගොලුවෝ ද මන්දා...
මොන මොනාදෝ මුමුණනවා...
කොච්චර උත්සහ කළත්..
එයාලා කියන ඒවා අහන්න...
ඇහෙන්නෙම නෑනේ මට..
අනේ... ඇයි ඒ...
මට විතරමද මේ...


කටහඬින් පුලුවන් ලූ...
කවුරුහරි අඳුරගන්න...
ඉතින්...

මගේම කටහඬ වත්
නාදුනන මම...
කෝමද එහෙම කෙනෙක්
අඳුරගන්නේ...

අමරදේව මහත්තයා
ලස්සනට සින්දු කියනව ලු...
කියලා දෙන්නකෝ මටත්...
කෝමද සින්දු අහන්නේ කියලා...


කුරුල්ලෝ කෑ ගහන්නේ
කීචී බීචී කියලද...
හූනා කෑ ගහන්නේ...
ටික් ටික් කියලද
ගෙම්බා කෑ ගහන්නේ
බක බක කියලද....
මේ ඇත්තමද....
කාට හරි නම කියලා
කතා කළාම...
එයා හැරිලා බලනවා...
එතකොට...
මට කවුරුවත්ම... මේ වෙනකන්...
නම කියලා කතා කරලා
නැති නිසාද
මට ඇහුන් නැත්තේ....



වෙන අයට කෝල්ස් එද්දී
එයාලා ටක් ගාලා
ආන්සර් කරලා කතා කරනවා....
ඒත්...
මගේ ෆෝන් එක කැඩිලද මන්දා...
මොනාත් ඇහෙන් නෑ....
ලයිට් පත්තු වෙනවා විතරයි...
ඉතින්....
මට විතරක් ඇයි මෙහෙම....
අළුත් ෆෝන් එකක් ගත්තම...
මට ඇහෙයි නේද සමහරවිට....


අපේ ගෙදර හැමෝම
ටීවී එක දිහා බලාගෙන
වෙලාවකට...
බඩ අල්ලගෙන හිනා වෙනවා...
තවත් වෙලාවකට...
දුකින් වගේ ඉන්නවා...
ඒත්...
මට එහෙම නෑනේ...
වෙලාවකට හිතෙනවා මට...
හැඟීම් දැනීම් නැද්ද කියලා...


ශබ්දය, නාදය, ස්වරය...
කියන දේවල් මම දන්නේ
නමට විතරයි....
ඇත්තටම ඒවා කොයි වගේද
කියලා දෙන්නකෝ කවුරු හරි...
ආසයි දැනගන්න...

අහන්න උත්සහ කළා ගොඩාක්...
අහන හැටි කල්පනා කළා ගොඩාක්...
දැන් නම්...
හරීම මහන්සියි මට...
මේ නිහඬ ලෝකයේම මම...
නිහඬව ඉන්නම්...
නිදහසේ මම....