අහස සේ නුඹ අනන්තයි....

Saturday, November 2, 2013

බිහිරි දැරියකගේ නොනිමි සිතුවිලි...


(මගේ ජීවිතේට මං අකුරු කරපු සංවේදීම වදන් පෙළ වෙන්න ඇති මේ...
කියවනවට කියෙව්වොත් නම් නිකන්ම නිකන් වචන ගොඩක් වගේ දැනෙයි...
ඒත් ඒ හැම වචනයක්ම හිතට අරන් කියෙව්වොත් නම්....
මට දැනුණ හැඟීමම ඔයාලටත් දැනෙයි... 
අපි හැමෝම ජීවිතේ දිහා බලන්නේ එකම කෝණයකින් නෙමෙයි කියලා ඔයාලට තේරෙයි එතකොට...) -සඳ කින්නරාවී -
නිහඬ ලෝකයක්...
පාට පිරුණු... ලස්සන...
නිහඬම නිහඬම ලෝකයක්....
හැමෝම ගොලුවෝ ද මන්දා...
මොන මොනාදෝ මුමුණනවා...
කොච්චර උත්සහ කළත්..
එයාලා කියන ඒවා අහන්න...
ඇහෙන්නෙම නෑනේ මට..
අනේ... ඇයි ඒ...
මට විතරමද මේ...


කටහඬින් පුලුවන් ලූ...
කවුරුහරි අඳුරගන්න...
ඉතින්...

මගේම කටහඬ වත්
නාදුනන මම...
කෝමද එහෙම කෙනෙක්
අඳුරගන්නේ...

අමරදේව මහත්තයා
ලස්සනට සින්දු කියනව ලු...
කියලා දෙන්නකෝ මටත්...
කෝමද සින්දු අහන්නේ කියලා...


කුරුල්ලෝ කෑ ගහන්නේ
කීචී බීචී කියලද...
හූනා කෑ ගහන්නේ...
ටික් ටික් කියලද
ගෙම්බා කෑ ගහන්නේ
බක බක කියලද....
මේ ඇත්තමද....
කාට හරි නම කියලා
කතා කළාම...
එයා හැරිලා බලනවා...
එතකොට...
මට කවුරුවත්ම... මේ වෙනකන්...
නම කියලා කතා කරලා
නැති නිසාද
මට ඇහුන් නැත්තේ....



වෙන අයට කෝල්ස් එද්දී
එයාලා ටක් ගාලා
ආන්සර් කරලා කතා කරනවා....
ඒත්...
මගේ ෆෝන් එක කැඩිලද මන්දා...
මොනාත් ඇහෙන් නෑ....
ලයිට් පත්තු වෙනවා විතරයි...
ඉතින්....
මට විතරක් ඇයි මෙහෙම....
අළුත් ෆෝන් එකක් ගත්තම...
මට ඇහෙයි නේද සමහරවිට....


අපේ ගෙදර හැමෝම
ටීවී එක දිහා බලාගෙන
වෙලාවකට...
බඩ අල්ලගෙන හිනා වෙනවා...
තවත් වෙලාවකට...
දුකින් වගේ ඉන්නවා...
ඒත්...
මට එහෙම නෑනේ...
වෙලාවකට හිතෙනවා මට...
හැඟීම් දැනීම් නැද්ද කියලා...


ශබ්දය, නාදය, ස්වරය...
කියන දේවල් මම දන්නේ
නමට විතරයි....
ඇත්තටම ඒවා කොයි වගේද
කියලා දෙන්නකෝ කවුරු හරි...
ආසයි දැනගන්න...

අහන්න උත්සහ කළා ගොඩාක්...
අහන හැටි කල්පනා කළා ගොඩාක්...
දැන් නම්...
හරීම මහන්සියි මට...
මේ නිහඬ ලෝකයේම මම...
නිහඬව ඉන්නම්...
නිදහසේ මම....